දකුණ සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැස්ම මාර්තු මාසයේ

(කොළඹ, ලංකාපුවත්) – දකුණ සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැස්ම මාර්තු මාසයේ එළිදැක්වීමට ද බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදි පැවති දක්ෂිණ සංවර්ධනය පිළිබද විශේෂ සාකච්ඡාවට අද(07) සහභාගි වෙමිනි

එහිදී අගමැතිවරයා පෙන්වා දෙන ලද්දේ මූලික වශයෙන් දකුණු සංවර්ධනයේ පරමාර්ථය වන්නේ කර්මාන්තකරණය බවයි. ඒ අනුව දකුණ, හම්බන්තොට, රුහුණ යන ප්‍රදේශවල කොළඹට දෙවැනි වන විශාල කර්මාන්තකරණයක් ඇති කිරීමට සැලසුම් කරන බව ඔහු පැවසීය.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

“කොළඹ, ගම්පහ, කළුතර කර්මාන්තකරණය සමඟ දකුණු කර්මාන්තකරණය තුලින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනය වැඩිකිරීම මෙහිදී සිදුවෙනවා. දෙවනුව අපනයන ආර්ථිකය සදහා ගාල්ල සහ මාතර ප්‍රදේශයේ විශාල සංචාරක කලාප ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අක්කර 1000, අක්කර 500 ආදී වශයෙන් මාලදිවයිනේ දූපත්වලටත් වඩා විශාල සංචාරක කලාප ඉදි වෙනවා. මෙයට වරාය, ගුවන්තොටුපල, විදුලිබලාගාර, තෙල් පිරිපහදුව ආදී සියල්ල ද ඇතුලත් වෙනවා.

මෙම දකුණු සංවර්ධන වැඩපිළිවෙලට සිංහරාජ සංවර්ධන වැඩසටහනද ඇතුලත් වෙනවා. මෙතෙක් අපේ අත්දැකීම්වලට අනුව ගාල්ල, මාතර වැනි ප්‍රදේශවල සංවර්ධනයත් සමඟ හිනිදුම, දෙනියාය, රක්වාන වැනි ප්‍රදේශවලට එහි ප්‍රතිලාභ ලැබී නැහැ. එය මුහුදුබඩ තිරයට පමණක් සීමා වී තිබෙනවා. අවම වශයෙන් අකුරැස්ස ප්‍රදේශයවත් සංවර්ධනයක් සිදුවී නැහැ. ඒ නිසා අපි නව වැඩපිළිවෙල යටතේ නවීකරණයක් බලාපොරොත්තු වෙනවා. මෙහි පළමු අදියර යටතේ ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය යන ප්‍රදේශවල සංචාරක කර්මාන්තය, වෙළඳ කලාප හා වෙළදාම දියුණු කරමින් සිංහරාජ අවට ඇති ස්වභාවික ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කරනවා.

ඒ යටතේ කුඩා තේ වතු සදහා ආධාර කිරීම, නව වගාවන් ආරම්භ කිරීම සිදු කරනවා. ඒවගේම දෙනියාය, රක්වාන අතර තිබෙන විශාල ස්වභාවික පරිසරය ආරක්ෂා කරන විශේෂ සංචාරක කලාපයක් ඇතිකරනවා. මේ සියල්ලම දකුණු සංවර්ධන මහ සැලැස්මට ඇතුලත් වෙනවා.  මේ වන විට එම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. දෙද්දුව සංචාරක කලාපයේ වැඩසටහන, හම්බන්තොට වෙළෙඳ කලාපය, මාතර වැඩපිළිවෙල, මේ වන විට ආරම්භ කර ඇති අතර මේ සියල්ලගෙන්ම විශාල දියුණුවක් දකුණෙහි සිදුවෙනවා.

මෙතෙක් දියුණුවක් සිදු නොවූ වැවිලි හා කෘෂිකර්මාන්තයේ ද විශාල පෙරලියක් දකුණු සංවර්ධනය තුලින්  සිදුකිරීමට අප බලාපොරොත්තු වෙනවා. දකුණු සංවර්ධන අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අදාල අනෙකුත් අමාත්‍යාංශ සියල්ල සමඟ සාකච්ඡා අවසන් කර තිබෙනවා. ඒ පිළිබද කාර්යාලය හම්බන්තොටදි විවෘත කළා. මාර්තු මාසයේදී එම සැලැස්ම රටට ඉදිරිපත් කිරීමටයි අප බලාපොරොත්තු වන්නේ. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *