නාමල් ඇතුළු 6 දෙනෙකුට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව 20වනදා විභාගයට

(කොළඹ, ලංකාපුවත්) – අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම හරහා විශුද්ධිකරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව ලබන 20වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය.

පැමිණිලි පාර්ශ්වයේ පළමු සාක්ෂිකරු අධිකරණයේ පෙනී නොසිටි බැවින් නඩු විභාගය මීළඟ දිනට කල් තැබුනි. ඔහු අසනීපෙන් සිටින බවයි නීතිඥවරයා දැනුම් දුන්නේය.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාට ලබන 20වනදා සිට ඊළඟ නඩු වාරය දක්වා විදේශගතවීමට අධිකරණය අවසර ලබා දී ඇත. නාමල් රාජපක්ෂ , සුජානි බෝගොල්ලාගම , ඔනෙලා ඉරේෂා ද සිල්වා සහ නිත්‍යා සෙනානි යන අය මහාධිකරණයේ අද (16)පෙනී සිටියේය.

මීට පෙර විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහකින් යුත් අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණය භාර දුන්නේය. මෙම නඩුවේ දෙවන සහ හතරවන විත්තිකරුවන් වන ඉන්දික කරුණාජීව සහ ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම නොමැතිව නඩුව විභාගයට ගැනීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් මුල සිටම අධිකරණය මඟ හරිමින් සිටින ඉන්දික කරුණාජීව යන අය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා විවෘත වරෙන්තු ද නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × four =