ජනතාවට සේවය කිරීමේ වැඩපිළිවෙළ අරඹන බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළ සේම, ජයග‍්‍රහණය නොකළ සියලු නියෝජිතයින් ඒකරාශී කරගනිමින් පක්ෂය සහ ආණ්ඩුව ලෙස ජනතාවට සේවය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී සකසන බව ජනාධිපතිතුමා පවසයි.

පරාජයට පත්වූ කිසිඳු අපේක්ෂකයෙකු අත නොහරින අතර, එම සියලු දෙනා ගම සංවර්ධනය කිරීමේ තම නියෝජිතයින් බවට පත්කරගන්නා බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ජනපති නායකත්වය දුන් දේශපාලන පක්ෂ හා සන්ධාන නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් සමග ඊයේ (15) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුව අමතමිනි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග‍්‍රසය, ජාතික කොංග‍්‍රසය හා ඊ.පී.ඞී.පි පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය ලැබූ අපේක්ෂක අපේක්ෂිකාවන් මීට එක්ව සිටියහ.
ඔවුන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දූෂණයෙන්, වංචාවෙන් සහ අක‍්‍රමිකතාවයෙන් තොර දේශපාලනයක් සඳහා වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිඥාව සුරකිමින් ඉදිරියට යාමට සියලු නියෝජිතයින් කැපවිය යුතු බවයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් අත්දැකීම් පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව අඩු පාඩු සකස් කර ගනිමින් නිවැරදිව සහ ශක්තිමත්ව දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට සියලු දෙනා කටයුතු කළයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

දූෂණයෙන්, වංචාවෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලද මෙම ජනවරම පිළිබඳ සතුටු වන බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනා වෙත තම කෘතඥතාවය පිරිනැමීය.

එමෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම දේශපාලන වේදිකාවේ ප‍්‍රධාන සටන් පාඨය වූ දූෂණය, වංචාව සහ අක‍්‍රමිකතාවය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළ ඉදිරි සති දෙක තුළ අරඹන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා ජාතික වශයෙන් රටේ ආගමික නායකයින්, උගතුන්, බුද්ධිමතුන් සියලු දෙනා දායකකර ගන්නවා සේම ජාත්‍යන්තර සහය ද ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසීය.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, ජාතික කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වීය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, අනුර පි‍්‍රයදර්ශන යාපා, එස්.බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *