ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ජයවර්ධනපුර කුලපති ධුරයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති ධුරයට පත්කොට තිබේ.

මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ප්‍රාචීන අවසාන ශ්‍රේණිය දක්වා උසස් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුලත්ව 1963 වසරේ දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගනු ලැබූහ. අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයෙනුයි උන්වහන්සේ දර්ශනපති සහ දර්ශන විශාරද උපාධි හිමිකර ගත්තේය.

අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥානවිමල මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරයට ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් 2014 වසරේ ඔක්තෝබර් මස 18 වන දින සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් තේරී පත්විය.

ධර්ම විනයධර බහුශ්‍රැත මහා ස්ථවිරයන් වහන්සේ නමක ලෙස ගිහි පැවිදි දෙපාර්ශ්වයේම මහත් ගෞරවාදරයක් හිමිකර ගැනීම උන්වහන්සේ සතු විශේෂත්වයක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති ධුරයට පත්වුණු අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් පාඨක ජනතාවට තිළිණ කරමින් විද්වත් ලෝකයේ පැසසුමට ලක්ව සිටි.

බුදුදහමේ දාර්ශනික ප්‍රස්තුත , සිංහල සම්භාව්‍ය සාහිත්‍යයෙන් හෙලිවන බෞද්ධ සාරධර්ම වැනි කෘති උන්වහන්සේ විසින් රචිත අග්‍ර කෘති ලෙස සැලකේ. ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාවේ ප්‍රධාන ලේකම් ධුරය හොබවමින් උත්කෘෂ්ට ජාතික සේවාවක් ද උන්වහන්සේ ඉටුකරන ලදි. අන්තර් ආගමික සහජීවනය උදෙසා මහනාහිමියන් දක්වන උනන්දුව බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූවකි.

බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් අන්තර් ආගමික සමුළුවේ ප්‍රධාන ලේකම් ධුරය ද අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක ස්වාමීන්වහන්සේ හොබවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *