ජාතික ආණ්ඩුව දිගටම

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය මැතිවරණයෙන් පසු සතියකට වඩා තිබූ දේශපාලන අස්ථාවරභාවය අවසන් කරමින් එජාපය හා ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට ඊයේ (19) තීරණය කර ඇත.

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ ඊයේ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

එජනිස පළමුව ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර තිබුණද ජනාධිපතිතුමා සමඟ කළ සාකච්ඡාවේදී ජාතික රජය ඉදිරියට ගෙනයාමට තීරණය කර රජයේ අභ්‍යන්තරය තුළ විශාල ප්‍රතිසංස්කරණ කරමින් ඉදිරියට ගෙනයන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රීලනිපය රජය හැර නොයන බවත් ආණ්ඩුවේ සිට වෙනස්කම් කිරීමට සටන් කරන බවත් සමාජ සවිබල ගැන්වීම හා සමාජ සේවා ඇමැති එස්. බී. දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිතුමා ශක්තිමත් කිරීමට දිගටම රජයට සහය පළ කරන බවත් දිසානායක මහතා කීය.

අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකර ජාතික ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා 18 වැනිදා හමුවී අවශ්‍ය ප්‍රතිසංස්කරණ හදුන්වාදීමට එකඟවූ බවද වාර්තාවේ.

මෙම සාකච්ඡාවට කතානායක කරූ ජයසූරිය මහතා එක්ව ඇති අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මත ගැටුම නතරකිරීමට කතානායකවරයා පියවර‍ ගෙන ඇති බවද සඳහන්ය.

අගමැතිවරයා පසුගිය සිකුරාදා මාධ්‍යවේදීන් අමතා ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. විවිධ මත ගැටුම් වෙනස්කම් හමුවේ එයට පිළිතුරු ලබාදෙමින් ඉදිරියට ගෙනයා යුතු බවද අගමැතිවරයා අනාවරණය කර ඇත.

පසුගිය සතිය පුරාම දේශපාලන අර්බුද පැවතුණ අතර, ප්‍රධාන පක්ෂ දෙකම එකට වැඩකිරීමට හෝ වෙන්ව යාම වැනි මත දෙකක සිටීම එයට හේතුවිය. මේ වෙනුවෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තු‍වේදී ඊයේ පැය 3ක විවාදයක්ද ලබාදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *