හඟුරන්කෙත ජනකගෙන් ගිනස් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) –මිලි මීටර 12 ඝනකමින් යුත් දඟර කම්බි 22 ක් තත්ත්පර 48 ක් තුළ හිසෙන් නවා නව ගිනස් වර්තාවක් පිහිටුවීමට හඟුරන්කෙත කිතුල්පේ පදිංචි ජනක කාංචන මුදන්නායක සමත්විය.

මෙයට ප්‍රථම විනාඩියක් තුළ මිලි මීටර 12 ක ඝනකමින් යුත් කම්බි 18 ක් නවා මෙම ලෝක වාර්තාව ආමේනියානු ජාතිකයෙකු වන ආමේන් ඇඩම්ස් විසින් පිහිටුවා තිබිණි. මෙයට ප්‍රථම ගිනස් ලෝක වාර්තා හතරක් තබා ඇති ජනක පාසැල් සිසුවෙකුව සිටියදී වයස අවුරුදු 16 දී ඇඟිලි තුඩු වලින් ටොන් 9 1/2 ක බරින් යුත් කෝච්චි පෙට්ටියක් සැතපුම් 1 1/4 ක දුරක් ඇද ගිනස් වාර්තාවක් පිහිටුවනු ලැබීය.

ලෝක වාර්තා 18 ක් තබා ලෝකයේ වැඩිම ලෝක වාර්තා තැබූ මිනිසා බවට පත්වීම තම මූලික ඇරමුණ බවත් මේ වන විට ඉන් හතරක් සම්පූර්ණ කර තිබෙන බැවින් ඉතිරි වසර දෙක තුළ තවත් ලෝක වාර්තා 14 ක් තැබීමට අපේක්ෂා කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ජනක විසින් ඔහුගේ හිස ආධාරයෙන් තත්ත්පර 48 ක් තුළ නවන ලද මිලි මීටර 12 යකඩ කම්බියක් ග්රෑම් 900 ක බරින් යුක්ත විය.තමන් පුහුණුවීම් වලදී විනාඩියක් තුළ කම්බි 22 ක් නැමූ බැවින් වාර්තාව පිහිටුවීම සඳහා කම්බි 22 ක් පමණක් සූදානම් කළ බවත් තත්ත්පර 48 ක් තුළ එම ඉලක්කය සපුරා ගත් නිසා විනාඩියක් තුළ කම්බි 30 ක පමණ ප්‍රමාණයක් නවන්ට හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඔහු කීය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ මෙම ගිනස් වාර්තාව පිහිටුවීම මහනුවර නාගරික රථගාල පරිශ්‍රයේදී ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි.

වරලත් ඉංජිනේරු සපුමල් ජයසේන හා නීතීඥ ධම්මික ඇතුගල යන මහත්වරු විසින් මෙම ගිනස් වාර්තාව පිහිටුවීමේ අවස්ථාව විනිශ්චය කරනු ලැබූහ. මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකානයක,පළාත් මහමාර්ග ඇමැති එදිරිවීර වීරවර්ධන යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *