ඉන්දීය ධීවරයින් විස්සක් නිදහස් කිරීමට ඇමතිගේ අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධීව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දීය ධිවරයින් 129 දෙනෙක් මෙම වසරේ දී අත් අඩංගුවට ගනු ලැබුණු අතර එයින් ඉතිරිව සිටි ධීවරයින් 20 දෙනාද නිදහස් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා අනුමැතිය ලබා දී තිබේ.

පසුගියදා ධීවරයින් 109 ක් දෙනෙකු නිදහස් කර ඉන්දීය නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බලකායට බාර දෙනු ලැබීය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

මේ වනවිට ඉන්දීය මුහුදු සීමාවේ දී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙක් ද ඉන්දීය රජය විසින් නිදහස් කර ඇති අතර තවත් 06 දෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවෙති.

ඔවුන්ගෙන් 04 දෙනෙක් ධීවරයින් නොවන අතර මත්ද්‍රව‍්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයන්ය.

කුඩා බෝට්ටුවකින් අත් අඩංගුවට පත් ඉතිරි දෙදෙනා පිළිබඳ විමර්ශන ඉන්දීය රජය විසින් මෙහෙයවනු ලබයි.

මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබෙන නීති විරෝධී ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා ගණන 172කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *