පොහොර සහනාධාරයට නව ක්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) –පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීම තුළින් පවතින ගැටලු අවම කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරේ.

මැතිවරණයෙන් පසු පළමු වරට ජාතික ආර්ථික සභාව ඊයේ(21) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි.

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ප‍්‍රධාන ගැටලු දෙකක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, පොහොර සහනාධාරය දැනට ලබා දෙන ක‍්‍රමය වන මුදල්මය වශයෙන් ආධාර ලබා දීම සංශෝධනය කිරීම සහ පොහොර හිඟයක් ඇති නොවීමට කටයුතු කිරීම පිළිබඳ ඒ අනුව සාකච්ඡාවට ලක් කෙරිණි.

ගොවියාගේ පොහොර අවශ්‍යතාවය විසඳීමට කටයුතු කරන අතුරතුර, කෘෂිකාර්මික පොළොව දූෂණය නොවන අයුරින් එය සිදු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජාතික ආර්ථික සභාවට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට මෙහිදී නිර්දේශ කෙරිණි. එමෙන්ම, පොහොර හිඟයක් ඇතිවීම වැළැක්වීම පිණිස, රජය විසින් පොහොර සංචිත පවත්වා ගැනීමේ වැදගත්කම යෝජනා විය. ඒ සඳහා සුදුසු ක‍්‍රමවේදයක් හඳුනා ගැනීමට ද නිර්දේශ කෙරිණි.

තවද ග්ලයිෆොසෙට් තහනම පිළිබඳ විවිධ යෝජනා ඉදිරිපත්වූ අතර ජාතික ආර්ථික සභාව තීරණය කළේ ග්ලයිෆොසෙට් පිළිබඳ පවතින නීති රීති සංශෝධනය කොට නව ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීම මගින් ඇතිවී තිබෙන ඇතැම් දුෂ්කරතා සමනය කිරීමටයි. ඒ අනුව තේ සහ රබර් වගා බිම්වල ග්ලයිෆොසෙට් භාවිතය සඳහා ඉඩ ලබාදීමට යෝජනාවූ අතර මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කොට නව ප‍්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට ද යෝජනා විය.

ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම පිළිබඳ මෙහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු කෙරිණි. ජීවන වියදම ඉහළ යාමට ප‍්‍රධාන හේතුව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම බව හඳුනා ගැනුණු අතර ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් පාලනය කිරීමට අවශ්‍ය කටයුතු ගැන සොයා බලා කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමට යෝජනා විය. මේ අතුරින්, සහල් සහ පොල් මිල පාලනය ගැන අවධානය යොමු වූ අතර, ජාතික ආර්ථික සභාව, පාරිභෝගික සේවා අධිකාරිය, මහ බැංකුව සහ වෙනත් ආදාළ ආයතන සමග එක්ව කඩිනම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටත් එමගින් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම සීමා කිරීමටත් යෝජනා විය.
අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය. මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පෙන්වා දුන්නේ, ජල සම්පාදනය, ප‍්‍රවාහනය,බලශක්තිය ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමකින් තොරව, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම දුෂ්කර වනු ඇති බවයි. එමෙන්ම ශ‍්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් මුදල් ආයෝජනය සඳහා ප‍්‍රමුඛතාවය ලබා දිය යුතු බව ද එතුමා පෙන්වා දුන්නේ ය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින්, කටුනායක ගුවන් තොටුපළේ ඇති වී තිබෙන දැඩි තදබදය හේතුවෙන්, නව මගී පර්යන්තයක් ඉදිකිරීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා ජපන් ආධාර ( JICA) ලැබුණ ද ඉදිකිරීම් සඳහා ඉතා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බැවින් තාවකාලික පර්යන්තයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් දැන්වීය.

සජිත් පේ‍්‍රමදාස මහතා පෙන්වා දුන්නේ, රජයේ කොන්ත‍්‍රාත් සහ ඉදිකිරීම් සිදු කරන කොන්ත‍්‍රාත්කරුවන්ට ගෙවීම් සිදු කිරීම සඳහා විධිමත් ක‍්‍රමවේදයක් සහිත ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බවයි. විවිධ රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන ඉදිකිරීම් සඳහා මේ ගැටලුව ඇති වී ඇති බැවින් බොහෝ ප‍්‍රමාදයන් ඇත වීමට එය බලපාන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

අමත්‍ය ජෝන් සෙනවිරත්න මහතා අදහස් ප‍්‍රකාශ කරමින්, සබරගමු පළාත තුළ කිසිදු ප‍්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කර නොමැති බවත්, රත්නපුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ප‍්‍රමුඛතාව ලබා දිය යුතු බවත් සඳහන් කළේය.

අමාත්‍ය සරත් අමුණුගම මහතා සිය අදහස් ප‍්‍රකාශ කරමින්, විදේශ ආදායම් ලබා ගත හැකි ක්ෂේත‍්‍ර පිළිබඳව වැඩි අවධානය යොමු කළ යුතු බවත්, එබැවින්, විදේශ විනිමය විශාල වශයෙන් ලබා දෙන, විදේශ රැකියා ක්ෂේත‍්‍රය, ඇඟලුම් ක්ෂේත‍්‍රය , සංචාරක ක්ෂේත‍්‍රය සහ තේ වගාව ප‍්‍රමුඛ අනෙකුත් අපනයන භෝග ගැන වැඩි අවධාරණයක් ලබා දෙන ආර්ථික ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
ජාතික ආර්ථික සභාව විසින් ඉදිරි සති කිහිපය තුළදී ඉහත සඳහන් කළ ගැටලු සහ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධ වෙනත් කරුණු ආවරණය කරමින් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ආර්ථික ප‍්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට නියමිතය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම, රවුෆ් හකීම්, ජෝන් සෙනවිරත්න, සජිත් පේ‍්‍රමදාස, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා, මහින්ද අමරවීර, මලික් සමරවික‍්‍රම, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ද, ජාතික ආර්ථික සභාවේ සාමාජිකත්වය දරණ නිලධාරීන් ලෙස, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජාතික ආර්ථික සභාවේ මහලේකම් සහ එහි ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් මීට සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *