මතින් නිදහස් රටක් වෙනුවෙන් ගම හදා ගමු-පළමු වැඩසටහන අද

(කොළඹ, ලංකාපුවත්) –මතින් නිදහස් රටක් ජාතික වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක ‘ගම හදා ගමු’ ග්‍රාමීය වැඩසටහනේ පළමු වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ප්‍රජා පොලිස් කමිටුවල නියෝජිතයින්, ආරක්ෂක අංශවල මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද මීට එක්වන ‍අතර ‘මතින් තොර ගමක්’ යන්න තේමා කර ගනිමින් පාසල් සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කෙරෙන ඉදිරිපත් කිරීම් රැසකින් ද මෙය සමන්විතය.

සාමකාමී ශ්‍රී ලාංකීය සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ගම හදා ගමු’ ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ලංකාවේ සියලුම ගම්මානවල ප්‍රජා පොලිස් කමිටු මූලික කරගෙන මත්ද්‍රව්‍ය වැටලීම්, පුනරුත්ථාපන හා නිවාරණ කටයුතු මේ වන විට ආරම්භකොට තිබේ.

ගම තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය විකිණීම හා නිෂ්පාදනය අවම කිරීම සඳහා තිරසාර ක්‍රමවේදයක් සැකසීම සහ ගම්වාසීන්ගේ සාමූහිකත්වය තුළ මෙම ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ල කිරීම, එවැනි කර්මාන්තවල නියැළී සිටින පුද්ගලයන් වෙනත් රැකියා සඳහා යොමු කිරීම හා අධීක්ෂණය කිරීම, ග්‍රාමීයව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම හා සහය ලබාදීම, ග්‍රාමීය මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සිදුකිරීම, ගමේ තරුණ පිරිස හා පාසල් දරුවන් මූලික කර ගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳව සමාජය දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *