මත්ස්‍ය ප්‍රමිතිය සුරැකීමට නව පියවරක්

(කොළඹ, ලංකාපුවත්) –පශ්චාත් මත්ස්‍ය ප්‍රමිති හානිය අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ධීවර කාර්මිකයින්ගේ දැනුම වර්ධනය, ධීවර යාත්‍රා නවීකරණය, නව තාක්ෂණයෙන් යුත් ධීවර යාත්‍රා හඳුන්වා දීම, ගුණාත්මක තත්ත්වයෙන් යුත් අයිස් හා ජලය භාවිතය, මසුන් ඇල්ලීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම, මසුන් ගොඩබෑමේ ක්‍රියාවලිය විදිමත් කිරීම හා ධීවර වරායන්හි ශීතාගාර පහසුකම් නැංවීම යනාදි පියවර රැසක් ගෙන ඇත.

නාරා ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණයන්ට අනුව අපේ රටේ පශ්චාත් මත්ස්‍ය ප්‍රමිති හානිය Post Harvest Quality lost සියයට 40- සිට සියයට 60 දක්වා වේ යැයි හෙළිදරව් වී තිබේ.

ධීවරයින් විසින් අල්ලා ගනු ලබන මසුන්ගෙන් සියයට 40-60 දක්වා ප්‍රමාණයක් පාරිභෝජනය සඳහා නුසුදුසු වන අතර අඩුම තරමින් කරවළ සඳහාවත් උචිත නොවන බව හෙළි වී ඇත. මෙම මත්ස්‍ය තොග කිසිදු ප්‍රයෝජනයක් නොගෙන විනාශ කෙරෙන අතර එමගින් රටට අහිමි වන මුදල සුළුපටු නොවේ.

ජාතික ආර්ථිකයේ වර්ධනය උදෙසා දළ ජාතික නිෂ්පාදිතයට ධීවර අංශයෙන් දැනට ලැබෙන්නේ සියයට 1.4ක දායකත්වයකි. පශ්චාත් මත්ස්‍ය ප්‍රමිති හානිය වළක්වා ගන්නේ නම් එම මට්ටම සියයට 05 දක්වා නැංවීමට හැකි බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෙසේ වුවද අප රටේ දළ ජාතික නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය දෙස බලන විට ධීවර අංශය දැනට සිටින්නේ 11වන ස්ථානයේයි.

එමනිසා පසු අස්වනු නාස්තිය අවම කිරීම මගින් හා අපනයනය සඳහා ගුණාත්මකබවින් ඉහළ මසුන් සැපයීම මගින් 2020 වන විට දීවර අංශය තුන්වන ස්ථානයට පත්කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ සකස් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *