මැතිව්ස්ගේ ශාරිරික යෝග්‍යතා පරික්ෂණය අද

(කොළඹ, ලංකාපුවත්) –බංග්ලාදේශ සංචාරය අතරතුර ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් එළැඹෙන නිදහස් කුසලාන තරගාවලියට සහභාගිවීම තීරණය කෙරෙන ශාරිරික යෝග්‍යතා පරික්ෂණය අද (27)පැවැත්වීමට නියමිතය. ‍

මැතිව්ස්ට අමතරව කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමිර සහ නුවන් ප්‍රදීප් ද විවිධ ආබාධවලට ලක්වී සිටියත් පසුගියදා ආරම්භ වූ අන්තර් සමාජ විස්සයි 20 තරගාවලියේදී නැවත තරග බිමට පිවිසීමට මැතිව්ස් හැර සෙසු ක්‍රීඩකයෝ සමත්වුහ.

එසේ වුවත් මේ ක්‍රීඩකයන් සිවුදෙනා නිදහස් කුසලාන තරගාවලියට නම් කරනු ලබන ශ්‍රි ලංකා පිලට එක්විම අද පැවැත්වෙන ශාරිරික යෝග්‍යතා පරික්ෂණයේදී තහවුරු කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ ආබාධ හේතුවෙන් බංග්ලාදේශ සංචාරයේ විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරිමේ අවස්ථාව මේ ක්‍රීඩකයන් සිවුදෙනාටම මඟ හැරී ගියේය. ඇන්ජෙලෝ මැතිව්ස් නැවත එක්දින හා විස්සයි20 පිලේ නායකත්වයට පත්වීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු තරගාවලිය වූ බංග්ලාදේශ තුන්කොන් එක්දින තරගාවලිය අතරතුර ඔහුගේ පාදයේ ආබාධය යළි මතුවීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ආබාධ හේතුවෙන් කුසල් ජනිත්, නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර බංග්ලාදේශය සමග පැවැති විස්සයි20 තරගාවලියට සහභාගි නොවූහ.

කෙසේවෙතත් මැතිව්ස්ගේ ආබාධය මේ වනවිට සුව අතට හැරී ඇති බැවින් අද පැවැත්වෙන ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වුවහොත් නැවත නායකයා ලෙස නිදහස් කුසලාන තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවනු ඇතැයි ද ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර ආබාධවලට ලක්වූ සෙසු ක්‍රීඩකයන් වන වේගපන්දු යවන ශෙහාන් මධුසංඛගේ සහ තුන්ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නගේ සේවය තවදුරටත් කණ්ඩායමට අහිමිවනු ඇතැයි වාර්තා වෙයි. අසේල ගුණරත්න බංග්ලාදේශය සමග පැවැති විස්සයි20 තරගාවලිය සඳහා පුහුණුවිම්වල නිරතව සිටියදී උරහිසේ ආබාධයකට ලක්වූ අතර ශෙහාන් මධුසංඛ එම තරගාවලිය අතරතුර ආබාධයකට ලක්විය.

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 6 වැනිදා සිට ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඊට පෙර ශ්‍රී ලංකා සංචිතය සතියක පුහුණු කඳවුරකට සහභාගිවීමට නියමිතය. එම පුහුණු කඳවුර හෙට (28)ආරම්භ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *