බාධක එල්ල වනවා – අමාත්‍ය අකිල විරාජ්

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවිධිමත් බව නැති කිරීමට උත්සාහ දරන විට බාධක එල්ල වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ගුරු අධ්‍යාපනඥ සේවයේ උසස් වීම් ලද නිලධාරීන් ස්ථානගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී එම උත්සවය පැවැත්විණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති ඇතැම් අවිධිමත් කටයුතු විධිමත් කිරීමට පවා ඇතැම් පිරිස් සිය විරෝධය පළ කරමින් සිටින බවත්, පවතින සමාජ රාමුවට අනුකූලව සෘජුව තීන්දු තීරණ ගෙන විනිවිදව ක්‍රියා කිරීමට අපහසු මට්ටමක් උදා වී ඇති බවත්, එම අපහසුතා මගහරවමින්, කළ යුතු වෙනස් කිරීමට උත්සුක වන මිනිසුන්ව ද සමාජය උපහාසයට ලක් කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා පවතින රජය ක්‍රියා කළ අයුරු සහ පෙර පැවති රජයන් ක්‍රියා කළ අයුරු කාලයක් යාමේදී සමාජයට අවබෝධ වනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *