දේශීය ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම 100 ක පුළුල් වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට, මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප‍්‍රධානීන්ට උපදෙස් දෙයි.

ජාතික ආර්ථික සභාව මඟින් ආර්ථික පුනර්ජීවනය උදෙසා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන අතර, ඒ් පිළිබඳ රාජ්‍ය බැංකු ප‍්‍රධානීන් සමග අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයින් දිරි ගන්වමින් මෙරට දේශීය කර්මාන්තයේ නව පුනර්ජීවයක් ඇති කිරීම මෙහි අරමුණයි. ඉදිරි මාස කිහිපය තුළ කි‍්‍රයාවට නැංවීමට අපේක්ෂිත මෙම වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් ඉදිරි සති දෙකක කාලය තුළ තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය.

රාජ්‍ය බැංකු මගින් උපයා ගන්නා ලාභ කොතෙක් දුරට මහජනතාව වෙත ගලායනවාද යන්න පිළිබඳ අවධානය යොමුවිය යුතු බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා, අදාළ ප‍්‍රතිලාභ ආර්ථික කි‍්‍රයාදාමයන් තුළ සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යවසායකයින් වෙත ද ගලායමට සැලැස්වීම ඉතා වැදගත් බව පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම ණය යෝජනා ක‍්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පුළුල් ප‍්‍රචාරක වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය. බොහෝ ව්‍යවසායකයින්ට මුහුණදීමට සිදුව ඇති ප‍්‍රධාන ගැටලුවක් වන්නේ ණය ලබාගැනීමේදී පනවා ඇති කොන්දේසි සහ ඇපලියවිලි සම්බන්ධව මතුවන ගැටලු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ණය ලබා ගැනීමේ කොන්දේසි, සුරැකුම්පත් සහ ඇප ලියවිලි අවම මට්ටමින් පවත්වා ගනිමින් අපහසුතාවයකින් තොරව ව්‍යවසායකයින්ට ණය ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

විශේෂයෙන් රැකියා විරහිත උපාධිධාරින් ව්‍යවසායකයින් බවට පත්කිරීම අරමුණ කර ගනිමින් විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. දේශපාලන බේදයකින් තොරව මෙම වැඩසටහන්වල ප‍්‍රතිලාභ සියලු ජනතාව වෙත ලබාදිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා මෙම වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේදී ග‍්‍රාම නිලධාරින්ගේ සහය ලබාගැනීමට ද උපදෙස් දෙනු ලැබීය.

රාජ්‍ය බැංකු මහජන හිතෛෂී විය යුතු අතර, ණය ලබා ගැනීමට හෝ සේවා ලබාගැනීමට පැමිණෙන පොදු ජනතාව සමග ඉතා සුහදශීලිව කටයුතු කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරදීම පිළිබඳ කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙස ද ජනාධිපතිතුමා රාජ්‍ය බැංකු සභාපතිවරුන් වෙත උපදෙස් දුන්නේය.

ලාංකීය රාජ්‍ය බැංකු වාණිජ්‍යකරණයට ලක්වීම හේතුවෙන් සමාජ ප‍්‍රශ්න හඳුනා ගැනීම හා රටේ ආර්ථික වර්ධනයට අවශ්‍ය ණය ලබාදීම ප‍්‍රශස්ත මට්ටමක නොපවතින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය. ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඇතුළු මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය බැංකු මගින් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් දැනට කි‍්‍රයාත්මක කරන ණය යෝජනා ක‍්‍රම පිළිබඳව කරුණු විමසූ ජනාධිපතිතුමා ව්‍යවසායකයින් සිදුකරන යෝජනා සැලකිල්ලට ගනිමින් එම ණය යෝජනා ක‍්‍රම කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ,මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් සහ රාජ්‍ය බැංකු සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *