ශ්‍රී දේවිගේ අවසන් කටයුතු අද

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායි හි දී මියගිය ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවිගේ දේහය පිළිබද අවසන් කටයුතු අද මුම්බායි හිදී සිදු කිරීමට නියමිතය. ශ්‍රී දේවිගේ දේහය ඊයේ (27)රාත්‍රියේ විශේෂ ගුවන් යානයකින් ඩුබායි සිට ඉන්දියාවට රැගෙන විත් තිබේ.

ඉන් අනතුරුව දේහය මුම්බායි හි පිහිටි ඇගේ නිවස වෙත රැගෙනවිත් තිබේ.

අද (28)පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා පැය තුනක කාලයක් මුම්බායි ක්‍රීඩා සමාජයේදී දේහය මහජනතාව වෙනුවෙන් තැන්පත් කර තිබුණු අතර එහිදී විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය පිළිබද අවසන් කටයුතු වියල්පාර්ලේහි පිහිටි සේවා සමාජ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය. පස්වරු 3.30ට ආදාහන කටයුතු සිදු කෙරෙනු ඇත.

54 වන වියේ පසු වූ ශ්‍රී දේවි පසුගිය සෙනසුරාදා ඩුබායි හි දී මිය ගියේය. ශ්‍රී දේවිගේ ආදාහන උත්සවයට ඉන්දීය සිනමාවේ දැවැන්ත තරු රැසක් එක්ව සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *