ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට කි‍්‍රයාත්මක කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –වංචාවට, දූෂණයට එරෙහි තම ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති අතර, ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ අක‍්‍රමිකතාවයෙන් තොරව, නිවැරදිව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(01) පෙරවරුවේ පොළොන්නරුව, ගිරිතලේ ජනපදය කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

“පිබිදෙමු පොළොන්නරුව“ දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 6 ක් වැය කරමින් මෙම නව පංති කාමර ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර, සමරු ඵලකය නිරාවරණය කර නව පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ‍්‍රයේ නා පැළයක් රෝපණය කිරීම ද සිදු විය.

සමස්ත ලංකා පාසල් ගායන තරගාවලියේ ප‍්‍රාථමික අංශයේ සමූහ ගායන තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනගත් විද්‍යාලයීය ගායන කණ්ඩායම වෙත සහතික පත‍්‍ර සහ පදක්කම් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

ගිරිතලේ ශ‍්‍රී අග්ගබෝධි විහාරාධිපති දර්ශනපති වරදිවල ධර්මාරාම නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.එම්.එම්.කේ නවරත්න යන මහත්වරුන් ද, විදුහල්පති බී.එන්. රණවීර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර පොළොන්නරුව, හිඟුරක්ගොඩ යෝධඇළ මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම අද පෙරවරුවේ පළමුව ජනාධිපතිතුමා අතින් සිදු විය.

“පිබිදෙමු පොළොන්නරුව“ දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 11.45ක් වැය කරමින් මෙම නව පංති කාමර ගොඩනැගිල්ල ඉදිකර තිබෙන අතර, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඊට ශ‍්‍රම දායකත්වය ලබා දී ඇත.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර, සමරු ඵලකය නිරාවරණය කර නව පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් මීට පෙර කිසිදු රජයක් ඉටු නොකළ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවමින් වියළි කලාපයේ වැව් 2400 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මෙම වසරේ අරඹන බවයි.

ඒ යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පමණක් වැව් 123ක ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙන බව පැවසූ ජනාධිපතිතුමා වසර හැටකට වැඩි කාලයක් දිස්ති‍්‍රක්කයේ ජනතාව මුහුණදුන් ජලය පිළිබඳ ගැටලුව මෙම වසර අවසන්වන විට ස්ථීර වශයෙන්ම අවසන් වනු ඇති බව සඳහන් කළේය.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් 240 ක් අතුරින් පාසල් 142 කම ඉදිකළ නව පංතිකාමර ගොඩනැඟිලි සිසු අයිතියට පවරාදීමට මේ වනවිට තමාට ආරාධනා ලැබී තිබෙන බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා සේම විභාගවලින් දරුවන් හොඳ ප‍්‍රතිඵල ලබාගැනීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් දරුවන් විභාග ප‍්‍රතිඵලවලදී පෙන්වන දුර්වලතා හඳුනා ගනිමින් දරුවන් විශිෂ්ට අධ්‍යාපන ප‍්‍රතිඵල ලබාගැනීමට සූදානම් කිරීමේ වැඩපිළිවෙළ අදාළ විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන නිලධාරින් සමග සාකච්ඡා කර කි‍්‍රයාවට නංවන බව පැවසීය.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් විද්‍යාලයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවෙකුට තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

විද්‍යාලයේ ගුරුවරයෙකුගේ නිර්මාණයක් විදුහල්පති ඩබ්.ජී. කරුණාදාස මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

උතුරු මැද පළාත් ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය සිරිකෙත සිරිසීවලි ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද දෙමාපියන්, ගුරුවරුන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *