රාජාංගණය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – තඹුත්තේගම උද්ඝෝෂණයට හේතු වූ රාජාංගණය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතා පැවසීය.

මේ අතර මෙම ව්‍යාපෘතිය මුල්කර ගනිමින් තඹුත්තේගම නගරයේ පසුගිය 28වනදා පැවති උද්ඝෝෂණයේ දී කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 50 ලබන පස්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එසේම 09 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

රාජාංගනයේ ජලාශය ආශ්‍රිතව සිදුකරන ජල ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් තඹුත්තේගම නගරයේ පසුගිය 28වනදා පැවති උද්ඝෝෂණයේ දී පිරිසක් කළහකාරී ලෙස හැසිරුණි. එම පිරිස් විසුරුවා හැරීමට පොලිසිය කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ලදි.

පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස මොවුන් උද්ඝෝෂණයේ නිරත වූ අතර එය වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද ලබාදී තිබුණි. තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් එම නියෝගය ද කඩ කරමින් කළහකාරී ලෙස හැසිරුණු 59 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තේ ඔවුන් පොලීසියටද ගල්මුල් ප්‍රහාර එල්ලකිරීමෙන් අනතුරුවය.

මෙම විරෝධයට හේතුවූ රාජාංගන ජලාශයේ ජල ව්‍යාපෘතිය 2011 වසරේ කැබිනට් අනුමැතියකින් ආරම්භ වූවක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + nineteen =