තරුණ ජවය නැවුම් අයුරකින් රට හමුවට

(කොළඹ, ලංකාපුවත්) – යූත් විත් ටැලන්ට් රියැලිටි වැඩසටහනේ අවසන් මහා තරගය මාර්තු මස 10වන දින පැවැත්වේ.

ජාතික තරුණ සේවා සභාව හා අයි. ටී. එන් නාළිකාව එක්ව දිවයින පුරාම ක‍්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන හුදෙක් රූපවාහිනී තිරයේ දකින රියැලිටි වැඩසටහනක් පමණක් නොවන අතර එය එකම දිසාවකට සීමා නොවුණු වැඩසටහන් දෙකකින් සමන්විත විය.

රටට අලුත් අත්දැකීමක් තිළිණ කළ යූත් විත් ටැලන්ට් රියැලිටි වැඩසටහන සම්බන්ධයෙන් එහි නිර්මාතෘ ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ මහතා සඳහන් කළේ තරුණ ජවය නැවුම් අයුරකින් රට හමුවට ගෙන ඒම තම බලාපොරොත්තුවක් බවය.

එරන්ද වැලිඅංගේ මහතා මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

“අපට අවශ්‍ය වුණේ එකම දිසාවකට සීමා නොවුණු වැඩසටහනක් හඳුන්වා දෙන්නයි. ඒ අනුව තමයි අප යූත් විත් ටැලන්ට් රියැලිටි වැඩසටහන හඳුන්වා දුන්නේ. එහි රියැලිටි වැඩ සටහන් දෙකක් ක‍්‍රියාත්මක වුණා. වඩාත් ඵලදායි ව්‍යාපෘති 3000 ක් ගම් මට්ටමින් ක්‍රියාත්මක කරන්න තරුණයන්ට අපි කිව්වා.

එහිදී රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබා දුන්නා. හොඳම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටියක් අවසන් මහා තරගය පැවැත්වෙන මාර්තු මස 10වන දින අපි ලබා දෙනවා.තරුණ, තරුණියන් විශාල උනන්දුවකින් දිවයින පුරාම පාලම් මහා මාර්ග, වැව්, වෙහෙර විහාර, කෘෂිකාර්මික ව්‍යාපෘති, ප‍්‍රජා මධ්‍යස්ථාන ආදී විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළා.

එහිදී අපට අවශ්‍ය වුණේ හුදෙක්ම තරුණ,තරුණියන් ලවා පාලම් බෝක්කු නිර්මාණය කිරීම නොවෙයි. වර්තමානයේ තරුණ,තරුණියන් එළියට බහින්නේ නැහැ. ෆේස් බුක්, අන්තර්ජාලය, රූපවාහිනිය මේවට කොටුවෙලා ඉන්නේ.

අතීතයේ තරුණයෝ එකතුවෙලා ක‍්‍රීඩා කළා,සමාජ සුභසාධන වැඩ සටහන්වලට සහභාගි වුණා. ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නයි මේ වැඩසටහන ක‍්‍රියාත්මක කළේ.ඒ සමග තරුණයෝ කණ්ඩායම් ලෙස එකතු වෙනවා. වැඩිහිටියන් එක්ක එකතු වෙනවා. ප‍්‍රභුන් සමග පූජ්‍ය පක්ෂය සමග සාකච්ඡුා කරනවා.

මෙම රියැලිටි වැඩසටහනේ දෙවැන්න අධිෂ්ඨානය ජයග‍්‍රහණය නම් ඔබේ හැකියාව විස්මිත විය යුතුයි යන්න තේමා කර ගනිමින් ක‍්‍රියාත්මක වනවා.එහි අවසන් තරගය මාර්තු මස 10 වන දින පැවැත්වෙනවා.විශාලම පිරිසක් නරඹන ලද රියැලිටි වැඩසටහන බවට මෙය පත් වුණා. විස්මිත විශේෂ හැකියාවන් ඇති විශාල පිරිසක් ඉන් ඉදිරියට ආවා. එහි බොහෝදෙනෙකුට එම දක්ෂතා ඉදිරිපත් කරන්න මේ වන විට ආරාධනා ලැබෙනවා. එයට සහභාගිවෙමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමක් කර ගන්නවා. දෙපයින් නැගීසිටිමින් තමන්ගේ තියෙන හැකියාව ඉදිරිපත් කරනු ලබනවා. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම්, මාර්ගෝපදේශනය ලබා දෙනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *