සුරක්ෂා සිසු රක්ෂණාවරණය වෙනුවෙන් ”මිලියන 27ක ප්‍රතිලාභ” දරුවන් වෙත

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ රුපියල් මිලියන 27ක මුදලක් රක්ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන්, අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනට ලැබී ඇති නවත ම සංඛ්‍යාත්මක දත්ත අනුව 2018 මාර්තු 05 වැනි දින වනවිට එම ප්‍රතිලාභ සිසුන් වෙත මුදාහැර අවසන්ය.

එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට පෙබරවාරි දක්වා ගෙවී ගිය මාස 05 ඇතුළත රක්ෂණ ගෙවීම් සදහා ඉල්ලීම් 6600 ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බව ද එම තොරතුරු මගින් අනාවරණය වී ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන මගින් ශ්‍රි ලංකාවේ පාසල් 11,242 ක් තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලක්ෂ 45 කට ආසන්න පිරිසකට සෞඛ්‍ය රක්ෂණාවරණය හිමිවේ.

මේ යටතේ පාසල් දරුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂික ව රුපියල් 10,000 ක් දක්වා ද, රෝහල්ගත වීමක දී රුපියල් 100,000 ක් දක්වා ද, පාසල් දරුවෙකුගේ හදිසි මරණයක දී රුපියල් 100,000 ක් දක්වා මෙන්ම පාසල් දරුවෙකුගේ මව හෝ පියා හදිසියේ මරණයට පත් වූ විට දී රුපියල් 75,000 ක වන්දි මුදලක් ද ලබා දෙනු ලැබේ. එමෙන් ම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේ දී රුපියල් 100,000 ක් සහ අර්ධ ආබාධිත තත්ත්වයක දී රුපියල් 50,000 සිට රුපියල් 100,000 ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමි වේ.

සම්පූර්ණයෙන් ම නොමිලේ දරුවන්ට ලබාදෙන මෙම රක්ෂණාවරණය සඳහා රජය වැයකොට ඇති මුදල රුපියල් බිලියන 5කට ආසන්න වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *