කැණීම්වලින් හමුවන පුරාවස්තු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ උපදෙස් මත පියවර රැසක්

(කොළඹ, ලංකාපුවත්) – අතීත උරුමයන් අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහාත් පුරාවිද්‍යා කැණීම් හා සංරක්ෂණ කටයුතු ජාත්‍යන්තර නිර්ණායක හා ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත්ව හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට අවශ්‍ය දැඩි පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

එම උපදෙස් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීමට පියවර රාශියක් ගෙන ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා සඳහන් කළේය.

ඒ අනුව සිදු කළ විමර්ශන වලදී පසුගිය සමයේ පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ලබාගෙන පුරාවිද්‍යා කැණීම් කටයුතු සිදු කළ ඇතැම් පිරිස් අදාළ වාර්තා සහ පුරාවස්තු නියමිත පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දී නැති බවපුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේය.

මෙම වටපිටාව මත පුරාවිද්‍යා කැණීම් සම්බන්ධව පැවතිය යුතු ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නිර්ණායක නොමැතිවීමෙන් ජාත්‍යන්තර පිළිගැනීම පවා මෙරට පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවලට අහිමී වී යාමේ තත්ත්වයක් ද උද්ගත වී ඇති බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා සඳහන් කළේය.

පුරාවිද්‍යා කැණිම් කටයුතු සිදුකරන කණ්ඩායම් තම කැණීම් කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කැණීම් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වන අතර එසේ බලපත්‍ර ලබාදීමේ කොන්දේසි අනුව බලපත්‍රලාභීන් විසින් මූලික කැණීම් වාර්තාව ((Preliminary Report), අන්තර්කාලීන කැණීම් වාර්තා ((Interim Report), කැණිම් තුළින් හමුවන පුරාවස්තු හා අවසාන කැණිම් වාර්තාව (Final Report) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත නියමිත අදියරයන් හිදී ලබාදීමට බැඳී සිටි.

ඒ අනුව පුරාවිද්‍යා කැණීම්වලට අදාළව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් කැණීම් වාර්තා සහ පුරාවස්තු ලබා නොදුන් පහළොස් දෙනෙකු වෙත පුරාවස්තු සහ අදාළ වාර්තා වහා ලබා දෙන දැනුම් දී ඇත. ලබා නොදුන් සෙසු පිරිස් වෙත ද පුරාවස්තු සහ අදාළ වාර්තා වහා ලබා දීමට පියවර ගන්නා ලෙස ලිපි මගින් දැන්වීමට කටයුතු කරන බව සඳහන් කළ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පුරා වස්තු සහ කැණීම් වාර්තා නිසි පරිදි ලබා නොදෙන පිරිස් වෙත මින් ඉදිරියට පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ලබාදීම අත්හිටුවන බව ද සඳහන් කළේය.

පසුගිය කාල වකවානුවේ දී කැණීම්වලින් හමු වූ පුරාවස්තු නිසි පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත බාර නොදීම සහ පසුගිය සමයේ නිසි වගවිභාගයකින් තොරව පුරාවිද්‍යාඥයින් නොවන පිරිස් වෙත කැණීම් බලපත්‍ර නිකුත් කර ඇති බවට කරුණු වාර්තා වී ඇති හෙයින් පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ලබාදීමේ දී අක්‍රමිකතා සිදු වී ඇත්දැයි සොයාබැලීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *