ජාතික සමගිය ඇති කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රටේ දේශපාලන ස්ථාවරත්වය, ජාතීන් අතර සමගිය සහ සුහදතාව මෙන්ම සංහිඳියාව ගොඩනැගීමට ආණ්ඩුව ලෙස ගත යුතු සෑම ක්‍රියා මාර්ගයක්ම ගනිමින්, ප්‍රචණ්ඩකාරී කටයුතු කරන කුමන හෝ පාර්ශ්වයකට වුවද විරුද්ධව සියලු කටයුතු සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටී.

ජනාධිපතිවරයා ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු කළ එම විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

ඒ වගේම නොයෙකුත් අසත්‍ය ප්‍රචාරයන් සමාජ වෙබ් අඩවි තුළින්, කටකතා තුළින්, දුරකථන ඇමතුම් තුළින්, බරපතළ ලෙස ජනතාව නොසන්සුන් කරමින් රට තුළ සාමය කඩකිරීමට ක්‍රියාකරන ඇතැම් පිරිස් සිටින බව පෙනී යන කාරණයක් බවද ඒ නිසා එවැනි පුද්ගලයන් පිළිබඳවත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිතුමා පැවසීය.

මාතෘ භුමියේ නිදහස් සාමකාමී පරිසරයක සතුටින් ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

බෞද්ධ රටක් විදියට කුමන ආකාරයෙන් හෝ හිංසාකාරී සිදුවීම්, ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදු වෙනවා නම් එය අපේ රටට විශාල අගෞරවයක් සහ අවමානයක් බව අවධාරණය කරන ජනාධිපතිවරයා ඒ වගේම හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සෑම ආගමික බැතිමතෙක්ම තමාගේ ආගමික දර්ශනය තුළ ඉතාමත් සාමකාමීව හා සහජීවනයෙන් ජීවත්වෙමින්, මේ නිදහස් පරිසරය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය අවශ්‍ය පිබිදීම් වලට ලක්කරමින්, ඉදිරි වැඩකටයුතු ඉතාමත් සාමකාමී ලෙස එක්ව කරමුයි යැයි ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *