සාමකාමී පරිසරයක් උදෙසා ඕනෑම සහයක් ලබා දෙනවා – මුස්ලිම් නියෝජිතයන් ජනපති හමුවේ කියයි

(කොළඹ, ලංකාපුවත්) – සියලු ශී‍්‍ර ලාංකිකයින්ට සාමයෙන්, සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීම සඳහා රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ් ජනපති හමුවේ පැවසූහ.

රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මුස්ලිම් සංවිධානවල නියෝජිතයින් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළහ.

ඉතා සුළු අන්තවාදී පිරිස් මෙම කලහකාරී සිදුවීම් ඇතිකරන බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් පවත්නා බව ජනාධිපතිතුමා එම නියෝජිතයින්ට අවධාරණය කළේය.

සියලු ජාතීන්ට සමගියෙන් සහ සහජීවනයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම සඳහා ගතහැකි සෑම පියවරක්ම මේ වනවිට රජය ක‍්‍රියාත්මක කර තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම් පිළිබඳව එම නියෝජිතයින් මෙහිදී තම කනගාටුව ප‍්‍රකාශ කළ අතර එම ගැටුම් වැළැක්වීම සඳහා ජාති ආගම් භේදයකින් තොරව ගතයුතු සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

ජාති සහ ආගම් භේද මතුකරමින් කාලයක් තිස්සේ වරින්වර මතුවන මෙවැනි ගැටුම් ඉදිරියට ඇතිවීම වැළැක්වීමට සුදුසු දීර්ඝකාලීන විසඳුමක් ලබාදිය හැක්කේ ජනාධිපතිතුමාට පමණක් බැවින් ජනාධිපතිතුමාගේ ධූරකාලය තුළදීම එවැනි විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ද එම නියෝජිත පිරිස ජනාධිපතිවරයා වෙත කියා සිටියහ.

එවැනි සමාජ විරෝධී ක‍්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටි නියෝජිතයින්, සමාජ මාධ්‍ය ජාල තුළින් ද ජාතීන් අතර ගැටුම් ඇතිකිරීමට අවස්ථා ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියහ.

මේ හමුවට සිලෝන් ජමෙයිතුල් උලමා සංවිධානයේ නායකයින් සහ මුස්ලිම් සිවිල් සමාජයේ නියෝජිතයින් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *