ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි තරගයේ ජය ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය කණ්ඩායම නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණ ඇත.

ඒ, ඊයේ (13) ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් ලබා ගැනීමත් සමග ය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අවට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරග ආරම්භය පැයක පමණ කාලයක් ප්‍රමාද විය. ඒ අනුව එක් කණ්ඩායමටක හිමි වූ පන්දුවාර ගණන 19කි.

තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ය.

දිනේෂ් චන්දිමාල්ට පනවා ඇති තහනම හේතුවෙන් ඔහු වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවූ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූයේ තිසර පෙරේරායි. ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ.

පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 25 කට සීමා කරමින් ගුණතිලක ලකුණු 17 කට දැවී ගියේ ය. උපුල් තරංග ලකුණු 22ක් රැස් කළ අතර තිසර පෙරේරා ලකුණු 15ක් ලබා ගත්හ. කුසල් මෙන්ඩිස් ඊයේ වාර්තා කළේ, 20 යි 20 දිවියේ සිව්වැනි අර්ධ ශතකයයි.

දකුණතින් මද වේග පන්දු යවන ක්‍රීඩක ශර්දුල් ථාකූර් ලකුණු 27ට කඩුලු 4ක් දවා ගත්තේ ය. නියමිත පන්දුවාර 19 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 152කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක රෝහිත් ශර්මා ලකුණු 11ට දැවී ගිය අතර ශිඛර් ධවාන් ලකුණු 8ක් රැස් කළහ. අනතුරුව පිටියේ ස්ථාවර වූ මනීෂ් පාන්ඩේ සහ දිනේෂ් කාර්තික් පස්වැනි කඩුල්ලට ලකුණු 68ක නොබිඳුනු සබඳතාවක් ගොඩනැගූහ. පාන්ඩේ පන්දු 31කින් ලකුණු 42ක් රැස් කිරීමට සමත්විය. කාර්තික් පන්දු 25කදී රැස් කළ ලකුණු 39ට 4 පහර 5ක් ඇතුළත් විය.

අඛිල ධනංජය ලකුණු 19ට කඩුලු 2ක් ලබා ගත්තේ ය. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ශර්දුල් ථාකූර් තරගයේ වීරයා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *