සමාජ යහපත වෙනුවෙන් වන ඕනෑම ප‍්‍රවාහයකට දොර විවර කළ ද සමාජය විනාශ කරන ප‍්‍රවාහ පාලනයට ක‍්‍රමයක් අවශ්‍යයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත්, සමාජ යහපත වෙනුවෙන් වන ප‍්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිතුමා සහ ජපානයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ජංගම දුරකථන, පරිගණකය, අන්තර් ජාලය, සමාජ මාධ්‍ය නිර්මාණය වූයේ මානව සමාජයේ යහපත සඳහා බවත්, එයින් ලෝකයක දැනුම තමන්ට අත්කර ගත හැකි වුව ද අවාසනාවකට ශී‍්‍ර ලංකාවේ ඇතැම් දෙනා මෙම සම්පත් භාවිතා කරන්නේ රට විනාශ කිරීමට බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

එබැවින් මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා, ඒ සඳහා රජය මෙන්ම සියලු පුරවැසියන් ද තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

ජාතික සමගිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, ශිෂ්‍ය සංගම් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් ඉතා හරසරින් යුතුව ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.

ජපානයේ වෙසෙන ශි‍්‍ර ලාංකිකයින් මාතෘ භූමියේ කීර්තිනාමය රැක ගනිමින් රට වෙනුවෙන් ඉටුකරන මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

තම ක්ෂේත‍්‍ර තුළ කටයුතු කරගෙන යාමේදී මුහුණදීමට සිදුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙහිදී ඔවුන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර, එම ගැටලු විසඳීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

එම ක්ෂේත‍්‍රවල නියෝජිතයින් මීට පෙර ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදී ඉදිරිපත් කළ ගැටලු කිහිපයකට විසඳුම් ලබාදීමට ද ජනාධිපතිතුමා කටයුතු කර තිබූ අතර ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පිරිනැමීමට ද ඔවුන් මෙය අවස්ථාවක් කර ගත්තේය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, තිලක් මාරපන, මලික් සමරවික‍්‍රම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =