ඉන්දීය පිලට ජය

(කොළඹ, ලංකාපුවත්) – රෝහිත් ෂර්මාගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් ඊයේ(14) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති නිදහස් කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය පිල සමත්විය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිලේ නායක මහ්මුදුල්ලා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබාදීමෙන් උපරිම ඵල නෙලාගත් ඉන්දීය කණ්ඩායම ආරම්භයේ සිටම ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පටන්ගත් අතර වැඩි වගකීම තම කරමත පටවා ගත් ෂර්මා ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දුවෙන් දුවද්දී දැවී යද්දී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 89කි. ඉනිම පුරා බංග්ලාදේශ පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ මේ පිතිකරුවාගේ පන්දු 61ක ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය.

තම පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබමින් පළමුව පන්දු යැවීම තෝරාගත්ත ද බංග්ලාදේශ පිලේ නායකයාට දැඩි හිසරදයක් ගෙන දුන් රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් ඕවර 9.5ක් ඇතුළත පළමු කඩුල්ලට ලකුණු 70ක් එක් කිරිමට සමත්විය. රොබෙල් හොසේන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ධවාන් දැවී යද්දී ලකුණු 35ක් ලබා සිටියේ පන්දු 27කදීය. ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරක් එක්විය. අනතුරුව සුරේෂ් රයිනා සමග එක්වූ නායක ෂර්මා දෙවැනි කඩුල්ලට ලකුණු 102ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය. සෞම්‍ය සර්කාර් අතට උඩපන්දුවක් ලබාදී රයිනා ලකුණු 47කට දැවී යද්දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි. ඔහුගේ ඉනිමට වැය වූයේ පන්දු 30ක් පමණි.

ලකුණු 177ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ මුල් පෙළ පිතිකරුවන් අසරණ කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ වොෂින්ටන් මුලු ලකුණු සංඛ්‍යාව 40ක් වෙද්දී මුල්පෙළ පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීය. පන්දු 19කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමග ලකුණු 27ක් ලබා සිටි ටමීම් ඉක්බාල්ගේ දැවීයාමත් සමග බංග්ලාදේශ පිලේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල විය.

අනතුරුව නායක මහ්මුදුල්ලා දැවී ගියේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට යාමේදීය. චාහල් විසින් එවනු ලැබූ පන්දුවකට ඉහළින්ම එල්ල කළ පහරින් පන්දුව නතරවූයේ රාහුල්ගේ අතේය. ඉන් පසුව බංග්ලාදේශ ඉනිම ගොඩනැගීමට ජ්‍යෙෂ්ඨ පිතිකරු මුෂ්ෆිකුර් රහීම් ප්‍රබල උත්සාහයක නිරතවූ අතර සබීර් රහ්මාන් සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 65ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. එහෙත් රහ්මාන්ගේ දැවීයාමෙන් පසුව ඉනිම පිළිසකර කිරීමට ඔහුට කිසිවකුගෙන් සහයක් නොලැබිණි.

මෙවර තරගාවලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකයත් රැස් කළ මුෂ්ෆිකුර් ඊයේ නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 72කි. පන්දු 55ක් වැයවූ රහීම්ගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහරකින් වර්ණවත් විය.

ඉන්දියාව – 176/3 (ඕවර 20) රෝහිත් ෂර්මා 89, සුරේෂ් රයිනා 47, ශිකර් ධවාන් 35 (රුබෙල් හොසේන් 27/2)

බංග්ලාදේශය – 159/6 (ඕවර 20) මුෂ්ෆිකුර් රහීම් නොදැවී 72, ටමීම් ඉක්බාල් 27, සබීර් රහ්මාන් 27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *