නිදහස් කුසලානය ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) – නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කළ ඉන්දීය පිල කුසලානය අත්කරගැනීමට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (18) සමත්විය.

ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මාට නිදහස් කුසලානය පිරිනමනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතිනි.

මෙරට 70 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ මේ තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට සත්කාරක ශ්‍රී ලංකා පිල අසමත්වූවත් ඉන්දියාවේ, බංග්ලාදේශයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ටත් එක හා සමාන උද්වේගකාරී අවසන් මහා තරගයක් නැරැඹීමේ අවස්ථාව උදා කරමින් අවසන් පන්දුව දක්වා දෙපිලම කරට කර සටනක නිරතවීම කැපී පෙනුණි.

බංග්ලාදේශ පිල ලබාදුන් ලකුණු 167ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය පිලට අවසන් ඕවර 2දී ලකුණු 34ක් ලබාගැනීමේ අභියෝගය කරපින්නාගෙන පිටියට පිවිසි දිනේෂ් කාර්තික් තරගය උඩුයටිකුරු කරමින් රුබෙල් හොසෙන් යැවූ ඒ ඕවරයේදී ලකුණු 22ක්ම උදුරා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 2කුත් සමගය. අවසන් ඕවරයේ දී ඉන්දීය පිලට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 12ක් විය. පළමු පන්දු 3න් පසුව එය දිස්වූයේ පන්දු 3කට ලකුණු 9ක් ලෙසිනි. සිවුවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ ශංකර් ඊළඟ පන්දුවෙන් දැවී ගියේ ඔහු එල්ල කළ දැවැන්ත පහර උඩපන්දුවක් ලෙසින් මෙහිදි හසන් රැක ගැනීමත් සමගය. අවසන් පන්දුවට ලකුණු 5ක් අවශ්‍ය වී තිබූ අතර එම තීරණාත්මක පන්දුවට මුහුණ දුන් කාර්තික් හයේ පහරකින් ජයග්‍රහණය තහවුරු කළේ ඉන්දීය පිලට නිදහස් කුසලානය අත්කර දෙමිනි. අවසන් මොහොතේ පිටියට පැමිණ තරගය කණපිට හැරවූ දිනේෂ් කාර්තික් පන්දු 8කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමග නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 29කි. තරගයේ වීරයා සම්මානයත් ඔහුට හිමිවිය.

පළමු ඕවර 10 නිමාවනවිට ඉන්දිය පිල කඩුලු 3ක් දැවී ලකුණු 84ක් ලබා සිටි අතර ජයග්‍රහණය සඳහා ඒ වනවිට පන්දු 60කදී ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 83ක් විය. පන්දු 35කින් සිය අර්ධ ශතකය වාර්තා කළ ෂර්මා මුලු ලකුණු සංඛ්‍යාව 98ක්ව තිබියදී නස්මුල් ඉස්ලාම් යැවූ 14 වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් මහ්මුදුල්ලා අතට උඩපන්දුවක් ලබාදී දැවීයාමත් සමග බංග්ලාදේශ පිල නැවතත් තරගයට අවතීර්ණ විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ පිලට ලබා දීමේ අරමුණ ඒ අයුරින්ම ඉටු කළ ඉන්දීය පිලේ පන්දු යවන්නෝ පළමු ඕවර 5දී ප්‍රබල පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වූහ. ඒ වනවිට බංග්ලාදේශ පිල ලබා සිටියේ ලකුණු 33ක් පමණි.

නමුත් එක් අන්තයකින් කඩුල්ල රැකගෙන සිටි සබීර් රහ්මාන් මුෂ්ෆිකුර් රහීම් සමග සිවුවැනි කඩුල්ලට ලකුණු 35කුත්, මහ්මුදුල්ලා සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 36කුත් රැස් කරමින් ඉනිම පිළිසකර කළේ අගනා අර්ධ ශතකයකට හිමිකම් කියමිනි. ඊයේ දිනයේ විශිෂ්ට පිතිහරඹයක නිරතවූ මේ පිතිකරුවා ඉනිමේ 19 වැනි ඕවරයේදී දැවී ගියේ ලකුණු 77ක් රැස් කිරිමෙන් පසුවය. පන්දු 50ක් වැයවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් එක්විය. 19 වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් රහ්මාන්ගේ කඩුල්ල බිඳ දැමූ උනද්කාට් ඊළඟ පන්දුවෙන් රුබෙල් හොසේන්ගේ කඩුල්ලත් බිඳ දමමින් බංග්ලාදේශ පිලේ ලකුණු සංඛ්‍යාව සීමා කිරීමට කදිම දායකත්වයක් ලබා දුන්නේය.

බංග්ලාදේශය – 166/8 (ඕවර 20) සබීර් රහ්මාන් 77, මහ්මුදුල්ලා 21(යුස්වෙන්දර් චාහල් 18/3, ජාදේව් උනද්කාට් 33/2)

ඉන්දියාව – 168/6 (ඕවර 20) රෝහිත් ෂර්මා 56, දිනේෂ් කාර්තික් නොදැවී 29, මනීෂ් පාන්ඩ්‍යා 28 (රුබෙල් හොසෙන් 35/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *