මානව හිමිකම් කවුන්සලයේ තුන්වන චක‍්‍රය ශ්‍රී ලංකාව සම්මත කර ගනියි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාවේ විශ්ව කලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වන චක‍්‍රය සම්මත කරගෙන ඇත.

ඊයේ(19) ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේ දී එම වාර්තාව සම්මත වී ඇති බව වාර්තා වේ.

පසුගිය නොවැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදාළ වාර්තාවේ නිර්දේශ 253ක් අතරින් නිර්දේශ 177ක් පිළිගත් අතර ඒ සදහා ශ‍්‍රී ලංකාව ස්වෙච්ඡාවෙන් ප‍්‍රතිඥා 12ක් ද ලබාදෙනු ලැබීය.

ඊයේ දිනයේ දී මානව හිමිකම් කවුන්සිලයේ තිස් හත් වන සැසිවාරය අමතමින් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා සදහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාව විශ්ව කාලාන්තර සමාලෝචන ක‍්‍රියාවලියට ප‍්‍රබල ලෙස සහය දක්වන රටක් බවය.

පසුගිය නොවැම්බර් මාසයේ සිට ගෙවුණු මාස හතර ඇතුළත අදාළ වාර්තාවේ අඩංගු නිර්දේශ රැසක් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද රවිනාත ආරියසිංහ මහතා එහිදි පෙන්වා දී ඇත.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමල නව ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම, ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා වන ක‍්‍රියාවලියට ශ‍්‍රී ලංකාව ලබා දී ඇති දායකත්වය පිළිබදව රවිනාත ආරියසිංහ මහතා දීර්ඝ වශයෙන් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කර තිබේ.

විශේෂයෙන්ම පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව මෙන්ම ඊට හේතු වූ කරුණු පිළිබදව ද රවිනාත ආරියසිංහ මහතා විසින් සිය ප‍්‍රකාශයේ දී අදහස් පල කර ඇති අතර ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබාදෙන සහයෝගය ද අගය කරනු ලැබීය.

මේ අතර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් හෙට දිනයේ දී ලිඛිත යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

එම සැසිවාරයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යය භාර අමාත්‍ය සරත් අමුණුගම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *