ජනපති පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙල අද (23) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වුණු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූයේ ශ‍්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමායි.

උත්සව භූමිය වෙත ගිය ජනාධිපතිතුමා පාකිස්ථාන අගමැති ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපතිතුමා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමා, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ පාකිස්ථාන ති‍්‍රවිධ හමුදාපතිවරු එහි අසුන් ගත්හ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පැමිණිමත් සමග උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර දෙරටේ ජනාධිපතිවරු ඇතුළු පිරිස විශේෂ පීඨිකාවේ සිට හමුදා උත්තමාචාර පෙළපාලිය සහ විචිත‍්‍රවත් ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට එක්විය.

පාකිස්ථාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුළු රටවල හමුදාවන් මෙම ගුවන් සංදර්ශනය සඳහා එක්ව සිටියහ.

පැය 03 කට ආසන්න කාලයක් පැවති ජන රජ දින සැමරුම් උළෙල අලංකාරවත් සංස්කෘතිකාංග රැසකින් ද වර්ණවත් කෙරිණි.

අනතුරුව පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමා විසින් උළෙල ඇමතූ අතර ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර මිතුදමේ සුවිශේෂී සටහනක් තබමින් තම නිල ඇරයුම පරිදි පාකිස්ථාන ජන රජ දින සැමරුම් උළෙලට සහභාගීවූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත එහිදී පාකිස්ථාන ජනාධිපතිවරයාගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමිණි.

මෙම සැමරුම් උළෙල පැවති ප‍්‍රදේශයට ඉතා ඉහළ මට්ටමේ දැඩි ආරක්ෂාවක් යොදා තිබෙනු දක්නට ලැබුණු අතර, ශී‍්‍ර ලංකා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට එහිදී ලැබුණු ගෞරවණිය ඉහළ පිළිගැනීම ශ‍්‍රී ලංකා-පාකිස්ථාන ද්විපාර්ශ්වික සබඳතාවල සුවිශේෂි මාවතක් විවර කෙරෙනු ඇත.

ප‍්‍ර‍්‍රතිසංස්කරණය කෙරුණු ඉස්ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අද පස්වරුවේ ජනාධිපතිතුමා අතින් නැවත විවෘත කෙරෙන අතර, ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡුා ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *