ඉල්ලුම ඉහළ ගියත් විදුලි කප්පාදුවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –පවතින අධික උෂ්ණාධික දේශගුණික තත්ත්වය නිසා පළමු වතාවට මෙගාවොට් 2500 ඉක්මවාගිය වාර්තාගත විදුලි ඉල්ලුමක් ඇතිවුණත් කප්පාදුවකින් තොරව විදුලි බලය ලබා දෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේ‍රා මහත්වරු අවධාරණය කරති.

ඉදිරි සති කිහිපය තුළ විදුලි බල ඉල්ලුම මීටත් වඩා වැඩි වුවත් විදුලිය කැපීම සිදු නොකරන බව ද ජාතික විදුලි පද්ධතියේ ප්‍රමාණවත් විදුලි බල සංචිතයක් මෙන්ම ජලාශවල ප්‍රමාණවත් ජල මට්ටම් පවතින අතර නොරොච්චෝලේ බලාගාරයද ප්‍රශ්නයකින් තොරව ක්‍රියාත්මක වන නිසා විදුලිය කැපීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවද අවධාරණය කෙරේ. මේ අතර රජයේ රෝහල් වෙත සූර්යබල පද්ධති නොමිලයේ ලබාදීමේ වැඩසටහන යටතේ රඹුක්කන රජයේ රෝහලට සූර්ය විදුලි පද්ධතික් ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් ‍කළේ හිරු එළියෙන් විදුලිය නිපදවීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා මෙසේද කීය.

මේ වනවිට අපේ රටේ ජලයෙන් 40% ක් පමණ විදුලිය නිෂ්පාදනය වෙනවා. වැස්ස නැති වුණාම ඒක තවත් අඩුවෙනවා. ඊට පිළියමක් වශයෙන් මේ වනවිට කෘතීම වැසි ඇති කරන්නත් අපි සැලසුම් කරනවා. 40% ක් ජලයෙන් උත්පාදනය වෙද්දි ඉතිරි 60% ක විදුලිය නිපදවන්න වෙන්නේ ඩීසල් වලින්. මේ සඳහා අපට විශාල පිරිවැයක් දරන්න සිදුවෙනවා.

මේ වනවිට අවම පිරිවැයක් යටතේ විදුලිය නිපදවිය හැකි මූලාශ්‍රයන් වශයෙන් හිරු එළිය සහ සුළං හඳුනාගෙන තිබෙනවා. මේ තරම් හිරු එළිය ලැබෙන රටක් වෙලත් හිරු එළියෙන් විදුලිය නිපදීමට අවතීර්ණවීම ඉතාමත් මන්දගාමීයි. සෑම වසරකම විදුලි ඉල්ලුම 10%කින් වැඩි වෙනවා. මේ රටට විදුලිය හඳුන්වලා දුන්නයින් පස්සේ ඇතිවුණු විශාලම විදුලි ඉල්ලුම ඇතිවුනේ මේ මාසේ 20 දා රාත්‍රියේ. එය මෙගාවොට් 2500 කට අධිකයි. ඒ ඉල්ලුමට හේතුව තමයි මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වයයි.

සූර්යබල සංග්‍රාමය හැමදෙනාටම ලාභදායි වැඩපිළිවෙලක්. ඒක ලොකු පොඩි භේදයකින් තොරව ලාබ ලැබියහැකි ක්‍රියාවලියක්. අපි සාමා්‍යයෙන් නිවසකට විදුලිය සපයන්නේ ඒකකයක් රු. 4.00 ක් වගේ මුදලකට. නමුත් නිවසක සූර්ය බලයෙන් නිපදවන අතිරික්ත විදුලිය ඒකකයක් අපි මිලට ගන්නේ රු. 22.00 වැනි මුදලකට. ඒක විශාල ලාභදායි ක්‍රියාවලියක් වෙනවා විදුලි පාරිභෝකයාට. ඒ වගේම සූර්ය පද්ධති මිලදීගැනීමට ශක්තියක් නොමැති කොටස වලට තමන්ගේ වහලය කුලියට දීම මගින් ආර්ථික වාසි ලබාගැනීමේ ක්‍රමයක් අපි මේ වනවිට හඳුන්වා දීලා තිබෙනවා. මේ වැඩසටහන මොනතරම් වැඩදායි වුණත්, මෙය ජනතාව අතරට යන්නේ ඉතාමත් සෙමින්.

හොඳ දේවල් සමාජගත කරන්න ටිකක් අපහසුයි. ඒ නිසා මම කැබිනට් මණ්ඩලයට යෝජනා කළා මේ සූර්යබල පද්ධති ලිපිබඳ ජනතාව දැනුවත් කරන්න, ජනතාව වැඩියෙන් ගැවසෙන රජයේ ස්ථානයන්ට නොමිලයේ සූර්යබල පද්ධති ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමු කියලා. ඒ අනුව පන්සල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට වගේම මේ ආකාරයෙන් රෝහල් වලටත් අපි සූර්යබල පද්ධති නොමිලයේ ලබාදීමට කටයුතු කරනවා, යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *