පාසල් දරුවන්ගෙන් සියයට 25කට කුමන හෝ අක්ෂි ගැටළුවක්

(කොළඹ, ලංකාපුවත්) –අප රටේ පාසල් දරුවන් අතරින් 25% ක ප්‍රමාණයක් කුමන හෝ දෘෂ්‍යාබාධයකින් පෙළෙන බව ශ්‍රී ලංකා දෘෂ්ඨි විශේඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති දෘෂ්ඨි විශේෂඥ වෛද්‍ය අනුර රාජකරුණා මහතා පැවසීය.

පුත්තලම – මංගළඑළිය, දමිල මහා විද්‍යාලයේ පසුගියදා පැවති අක්ෂි සායනයක් අතර තුර මාධ්‍ය වෙත අදහස දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

කට්ටකඩුව දෙමළ මහා විද්‍යාලයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් සහ මාර්තු මස 23 වැනිදාට යෙදුන ජාත්යසන්තර දෘෂ්ඨි විශේෂඥයින්ගේ දිනය නිමිත්තෙන් මෙම අක්ෂි සායනය පැවැත්වුණි.

කට්ටකඩුව පාසල් සංවර්ධන සමිතිය සහ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම අක්ෂි සායනය සංවිධානය කර තිබුණි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ විශේෂඥ දෘෂ්ඨි වෛද්‍ය අනුර රාජකරුණා මහතා මෙසේද පැවසීය.

“අපේ රටේ ජීවත් වන බහුතරයක් කුමන හෝ ආකාරයක අක්ෂි ආබාධයකට ලක්ව සිටින බවට මේ වන විට හඳුනා ගෙන තිබෙනවා. නමුත් ඇතමුන් තමන්ට ඇති අක්ෂි ආබාධය නිවැරදිව හඳුනා ගෙන නැහැ. එය ඇතැම් විට නොදැණුවත් කම නිසා වන්නත් පුළුවන්.

එසේ නොමැතිනම් නොහැකියාව නිසා වන්නත් පුළුවන්.ඒ නිසා දෘෂ්ඨි විශේෂඥයින්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති “ගමින් ගමට – නෙතට අරුණ” වැඩ සටහන යටතේ විශාල සේවාවක් මේ වන විට ආරම්භ කර තිබේ.

අඩු පහසුකම් ඇති ගම්මාන තෝරා ගෙන එම ප්‍රදේශවලට ගොස් ජනතාව පූර්ණ අක්ෂි පරීක්ෂාවට ලක් කිරීම මෙහිදී සිදු කරනවා.එපමණක් නොවෙයි අක්ෂි ආබාධවලින් පෙළෙන අයට ප්‍රමිතියෙන් ඉතා උසස් උපැස් යුවල අපි නොමිලේ ලබා දීමටත් කටයුතු කර තිබෙනවා.

ශල්‍යකර්ම සිදු කළ යුතු අය සිටී නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්නත් අපි සුදානම්. මෙරට වෙසෙන වැඩිහිටියන් අතරින් 1,50,000 කට වැඩි ප්‍රමාණයක් කුමන හෝ අක්ෂි ගැටළුවකට මුහුණ දී තිබෙනවා.

ඇතැම් විට ඇසේ සුද හෝ ග්ලූකෝමා වැනි තත්ත්වයන් තිබෙන බවටද අපි හදුනා ගෙන තිබෙනවා. ගමින් ගමට නෙතට අරුණ වැඩ සටහනේදී අපි හදුනා ගන්නා එවැනි රෝගීන් ප්‍රතිකාර කිරීමත් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අපගේ දරුවන් අතරින් 25% ක පමණ ප්‍රමාණයක් කිසියම් දෘෂ්ඨි ආබාධයකින් පෙළෙනවා.ඊට හේතුව වී ඇත්තේ නිවැරදි ආහාර රටාවෙන් ඈත් වීම සහ අතීතයේ මෙන් වර්තමානයේදී දරුවන් එළිමහනේ ක්‍රීඩා කටයුතුවල නිරත නොවීමයි. අපේ දරුවන් අද බොහෝ දෙනෙක් පාසල් කාලයෙන් පසුව ගෘහස්ථ ගතවී පරිගණයක හෝ රූපවාහිණිය සමඟයි කාලය ගෙවා දමන්නේ.

මෙම තත්ත්වය ඉතාමත්ම නරකයි. දරුවන් හිරු එළියේ ක්‍රීඩා කිරීම කළ යුතුයි.නමුත් වර්තමානයේ පවතින අධ්‍යාපන රටාවත් සමඟ දරුවන් ක්‍රීඩාවෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් සිටිනවා.

එම තත්ත්වය නිසා පාසල් දරුවන් අතරින් 10% පමණ ප්‍රමාණයක් දියවැඩියා රෝග තත්ත්වයට ගොදුරුවී සිටින බවක්ද දක්නට පුළුවන්.මෙම තත්ත්වය ඉතාමත්ම කනගාටුදායකයි. වැඩිහිටියන් වශයෙන් අපි කළ යුතු වන්නේ දරුවන්ව මෙවැනි රෝග වලින් ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =