වැලි, ගල් සහ පස් ජාවාරම් මැඩලීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ නීති විරෝධි ලෙස කි‍්‍රයාත්මක වන වැලි, ගල් සහ පස් ජාවාරම් මැඩලීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රජත ජයන්ති සැමරුම් උළෙලට ඊයේ (26) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී එක්වෙමිනි.

මහපොළව, ගහ කොළ, ඇළ දොළ සහ සතා සීපාවාට ආදරය කරමින් ඒවා පෝෂණය කිරීමේ සහ ආරක්ෂා කර ගැනීමේ ප‍්‍රමුඛ වගකීම මේ රටේ පවතින රාජ්‍ය ආයතන ගණනාවක් අතරින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියට හිමිවන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම ආයතන දෙක නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

පසුගියදා සිදුවූ මුතුරාජවෙල පරිසර විනාශය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ දූෂිත ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ගෙන් පරිසරය රැක ගැනීම සඳහා රාජ්‍ය ආයතන නිරන්තර වගකීමෙන් කටයුතු කළයුතු අතර බලපත‍්‍ර නිකුත් කිරීමෙන් අනතුරුව අදාළ ව්‍යාපෘති කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳ පසුවිපරම් කිරීමේ වගකීම ප‍්‍රමුඛ කාර්යයක් ලෙස ඉටුකළයුතු බවත්ය.

භූ විද්‍යා ක්ෂේත‍්‍රයේ කැණීම්, පරික්ෂණ සහ අධ්‍යයනයන් නව තාක්ෂණය ඔස්සේ වඩා විධිමත්ව සහ කාර්යක්ෂමව කි‍්‍රයාවට නැංවීමේ නව වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සේවය කර විශ‍්‍රාම ගොස් සිටින සේවක සේවිකාවන්ට සහ මේ වන විට වැඩිම කාලයක් සේවයේ නියුතු සේවක සේවිකාවන්ට උපහාර පිදීම ද මෙහිදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *