ෆේස්බුක් අවහිර කිරීම අවස්ථානුකූලව ගත යුතුව තිබූ වැදගත් තීරණයක් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –නවීන තාක්ෂණයේ අයහපත් පැතිකඩෙන් වත්මන් දරු පරපුර රැක ගැනීමේ වගකීම රජයක් ලෙස උපරිමයෙන් ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අමතමිනි.

පසුගියදා මහනුවර සිදුවූ සිදුවීමේදී ෆේස්බුක් සහ වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් පියවර පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ එය මාධ්‍ය නිදහස හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් නොව අවස්ථානුකූලව ගතයුතුව තිබූ වැදගත් තීරණයක් බවයි.

එමගින්, රටේ සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා රටත්, ජනතාවත් වෙනුවෙන් රජය ගත් එම පියවර ජාත්‍යන්තර සංවිධානවල ද පැසසුමට ලක්වූ බව කියා සිටියේය.

සමාජයේ පවතින විවිධ අභියෝගකාරී තත්ත්වයන්ගෙන් රටේ දරු පරපුර ආරක්ෂාකර ගනිමින් දරුවන්ට අධ්‍යාපනය සමග ලබාදෙන දැනුම සේම ජීවිතය සමත්වීම පිළිබඳ අවබෝධය ලබාදීම සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ රජයක් වශයෙන් ඉටුකළ යුතු කාර්යයන් රැසක් පවතින බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් නිරන්තර අවධානයෙන් කටයුතු කළයුතු අතර, විභාග ප‍්‍රතිඵල නිකුත්වීමේදී ඇතැම් දරුවන්ට දෙමාපියන්ගෙන් අත්විදීමට සිදුවන කනගාටුදායක සිදුවීම් සැලකිල්ලට ගනිමින් විභාග සඳහා දරුවන් සේම දෙමාපියන් ද සූදානම් කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව කියා සිටියේය.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ දැරියන්ට සම්මාන තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම් මරික්කාර්, මුජිබර් රහුමාන්, පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ. නාගරික මන්තී‍්‍ර අසාද් සාලි යන මහත්වරුන් ද විදුහල්පතිනි සියනා අස්ලාන් මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *