දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ දසවන ගුණ සැමරුම සිකුරාදා

(කොළඹ, ලංකාපුවත්) –මෙරට කිර්තිමත් දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ දසවන ගුණ සමරුව ලබන සිකුරාදාට (06) යෙදි ඇත.

2008 වසරේ අප්‍රියෙල් මස 06 වන දින උදෑසන වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල පැවති මැරතන් ක්‍රීඩා තරගයකට ආරම්භය ලබාදීමට පැමිණි අවස්ථාවේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව අභාවප්‍රාප්ත වූ අතර ප්‍රවීණ මැරතන් ශූර කරුණාරත්න (මැරතන් කරු) මහතා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස් ඇතුළු 17 දෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත්විය . මේවන විට ඊට අදාල නඩු විභාගය ගම්පහ මහාධිකරණයේ විභාග වෙමින් පවති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි නීතීඥ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා 1989 වසරේදී ප්‍රථම වරට කටාන ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර අවුරුදු 20 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී.

ප්‍රනාන්දුපුල්ලේ මහතා මුදල්, ක්‍රම සම්පාදන, ජන වාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා, සැලසුම් ක්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර සැලසුම් ක්‍රියාත්මක කිරීම, පාර්ලිමේන්තු කටයුතු, ගුවන් තොටුපල සංවර්ධන, සංචාරක, වෙළඳ හා වානිජ, ක්‍රිස්තියානි ආගමික කටයුතු, ගුවන් සේවා හා මහා මාර්ග ඇතුළු අමාත්‍යංශ වල කැබිනට් අමාත්‍යධූර හෙබවිය. භාෂාත්‍රයෙ පුවීණයෙකු වු ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සුවිශාල කාර්යභාරයක් ඉටුකරන ලදී.

එල්.ටී.ටී.ඊ සංවිධානය සමග පැවති සාම සාකච්ඡා කණ්ඩායමේ නියෝජිතයෙකු ලෙසද කටයුතු කළ ඔහු මෙරට ත්‍රස්තවාදයට එරෙහිව හඩ නැගූවන් අතර ඉදිරියෙන් සිටි අයෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධූරය දරන කාලසීමාව තුලදී පක්ෂයේ අරමුදල් තරකිරීම සදහා සුවිශේෂි වැඩපිළිවෙල රාශියක් ක්‍රියාත්මක කරන්නට ඔහුට හැකියාව ලැබුණු අතර පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් අතර හොද හිත දිනාගත් අයෙකි. කටාන ආසනයේ ඉඩම් නොමැති ජනතාවට ජනජයගම, සමෘද්ධිගම, රාජපක්ෂ පුරය වැනි ප්‍රදේශ කිහිපයක ගම්මාන බිහිකළ අතර ඒවායේ විහාරස්ථාන කතෝලික දේවස්ථාන හා හින්දු ආගමික ස්ථාන ඉදිකිරිමට පියවර ගත් අතර ගුවන් තොටුපලට පැමිණෙන ඉස්ලාමිය භක්තිකයන් වෙනුවෙන් වන්දනාමාන කිරීම සඳහා ස්ථානයක් ගුවන් තොටුපල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලද්දේ ඔහු ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේය.

ඔහුගේ අභාවයෙන් පසු කටාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකධූරයට පත් ඔහුගේ භාර්යාව වන වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ නායිකාව, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ මෙහෙයවීම යටතේ ගුණසමරු උත්සවය 2018.04.06 දින පෙ.ව 8.00 ට වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සමරු ස්මාරකය අභියසදී පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙහි ගුණසමරු අනුශාසනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් විසින් පවත්වනු ලබයි.

මීට අමතරව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයා විසින් ඉදිකරන ලද බෝලවාලන ජනජයගම ජයසුදර්ශනාරාම විහාරස්ථානයේදී එදින සවස 6.00 ට විශේෂ බෝධි පූජාවක් සහ ධර්මානුශාසනාවක් පවත්වන අතර තිඹිරිගස්යාය ශා.තෙරේසා දේවස්ථානයේදී එදින පෙ.ව.6.15 ට සහ ප.ව 5.00 ට වැලිහේන ශා.කයිතන් මුනිදුන්ගේ දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයන් පැවැත්වේ. තවද, ඔහු විසින් ඉදිකරන ලද මරිච්චිකට්ටුව ශා.අන්තෝනි දේවස්ථානයේදී අප්‍රියෙල් මස 03 වන දින සවස 5.00 ට විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙන අතර උදෑසන සිට එම ප්‍රදේශයේදී අක්ෂි සායනයක් , ඇස් කණ්ණාඩි බෙදාදීමක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා වැඩිහිටි හැදුනුම්පත් ලබාදීම ඇතුළු කටයුතු ගණනාවක් සිදුකිරීමට සැලසුම් කර ඇත.

මහා සංඝරත්නයේ පනස් නමක් විෂයෙහි පවත්වනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාව සහ දහවල් දානමය පුන්‍යකර්මය අප්‍රියෙල් මස 07 වන දින වැලිහේන පිහිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ජීවත්වූ නිවසේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =