විශ්වාසභංග විවාදයෙන් පසු පක්‍ෂයේ ප්‍රතිසංවිධානය අරඹන බවට අගමැතිගෙන් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) –රජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත.

පක්‍ෂයේ වගකීම් සාකච්ඡා අනුව නව කණ්ඩායමක් වෙත පවරා අවශ්‍ය පරිවර්තන සිදුකරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

පක්‍ෂය පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානය කර ඉදිරි පළාත් සභා මැතිවරණ හා අනෙකුත් මැතිවරණ සඳහා ඉතා ශක්තිමත්ව මුහුණ දිය හැකි පක්‍ෂයක් බවට එක්සත් ජාතික පක්‍ෂය පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පත් කළ රුවන් විජේවර්ධන කමිටු යෝජනා ද දැනට ලැබී ඇති වෙනස් අදහස් ද ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අපේක්‍ෂාව බව අග්‍රාමාත්‍යවරයා කියාසිටියේය. පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලය ලබන 30 වනදාට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් පත් කිරීමට පෙර ඒ සඳහා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් අදහස් ලබා ගැනීමට ද කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ලබන 07 සහ 08 යන දෙදින පුරා එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡා වට දෙකක් මේ වන විට කැඳවා තිබේ. එම රැස්වීම්වලදී පක්‍ෂයේ සියලුම ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ අවසන් තීරණ ගැනීමට නියමිතය.

පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්‍ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත් නියමිතය. එම කමිටුව පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ පක්‍ෂ සභාපති, මහලේකම් හා භාණ්ඩාගාරික සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *