නවක විදුහල්පතිවරුන් 37කට විදෙස් පුහුණුව

(කොළඹ, ලංකාපුවත්) – යල්පැනගිය ක්‍රමවේද පසෙකලා අධ්‍යාපනයේ ගුණාත්මක බව දියුණු කිරීමේ කාර්යය දිගටම පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii වන ශ්‍රේණියේ නවක විදුහල්පතිවරුන් 37 දෙනෙකුගේ විදෙස් පුහුණු සංචාර සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

විදෙස් පුහුණු සංචාරවල නිරත වීමට නියමිත නව විදුහල්පතිවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, මෙරට අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක බව තව තවත් වර්ධනය කිරීම සඳහා සිය පුහුණුවේදී ලබාගන්නා දැනුම් සහ අත්දැකීම් හොඳින් අදේශ කරන ලෙසයි. යල්පැන ගිය සහ රාමුගත වූ ක්‍රමවේදයන් සහ සංකල්පවලින් ඔබ්බට ගිය නව සංකල්ප සහ සැලසුම් මෙන්ම තරුණ අදහස් සහ තරුණ ජවය ද මෙරට අධ්‍යාපන පද්ධතියේ උන්නතිය සඳහා බෙහෙවින් වැදගත් බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

හුදු සංදර්ශන සහ මාධ්‍ය ප්‍රචාරයන් වැඩි වශයෙන් නොවූව ද රටේ අධ්‍යාපන පද්ධතිය දියුණු කිරීමට අදාළ ක්‍රමවේදයන් රැසක් අධ්‍යාපන අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කර ඇති බවත් එම කටයුතු පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසත් අමාත්‍යවරයා මෙහි දී විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *