විශ්වාස භංගයෙන් රජයත් එ.ජා.ප.යත් ශක්තිමත්වුණා – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත්වීම නිසාවෙන් රජයත් එක්සත් ජාතික පක්ෂයත් ශක්තිමත් වූ බවත් ඒ තුළින් එජාපයේ ජය ගමන ඇරඹූ බවත් ව්‍යාපෘති කලමනාකරණ , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ තමා නීතිය හා සාමය අමාත්‍ය ධූරය දරන සමයේ මුල් ගල් තැබූ වැලිගම පොලිස් ස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (05)එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

විශ්වාස භංගයේ ප්‍රතිපලය මොකද්ද කියල අපි දැනගෙන හිටියා. එකේ ප්‍රතිපලය තව හොඳ කරගන්න අපි මහන්සිවෙලා කටයුතු කළා. අපිට පුළුවන් වුනා විශ්වාස භංගය නිසා සැවොම එකමුතු කරගන්න. ඒක රටට ඉදිරියේදී විශාල ශක්තියක් වෙනවා. දැන් විශ්වාස භංගය ඉවරයි දැන් ආයිත් කාලේ ඇවිත් තියෙන්නේ වැඩකරන්න. අවුරුදු පහෙන් තුනක් ගිහිල්ල තව දෙකයි තියෙන්නේ. පලවෙනි තුන අමාරු අවුරුදු තුන සාමාන්‍යයෙන් ඒ අවුරුදු තුනේ තමයි සලසුම්කිරීමේ කටයුතු සිදුකරන්නේ, මුදල් ප්‍රශ්නවලට යොමුවෙන්නේ, බදු පර්තිපත්ති සකස් කරන්නේ, රටේ අදායම් මාර්ග ටික නිවැරදි කරගන්නේ. දැන් ඉදිරි කාලයේ කරන්නට තියෙන්නේ ජනතාවගේ ජිවිත යහපත් කරන්න ඉතුරු කටයුතු ටික සිදුකරන්න. ඒ වැඩකටයුතු කරන්න පසුබිම හැදිලා තියෙන්නේ.

මම අර කිව්වා වගේ එකම්තුකමින් කටයුතු කරන නිසා. 2015 ජනවාරි මාසයේ වගේම 2015 අගෝස්තු මාසෙත් ජනතාව ජන්දය ලබාදුන්නේ එකතුවෙලා වැඩකරන්න. එක අපේ වගකීමක්. එය ඉටුකරන්න අපි බැඳිලා ඉන්නවා. පසුබිමේ යම් වෙනස්කම් ටිකක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ ටික වෙනස් කරගෙන අපි වැඩකරන්න කටයුතු කරනවා. නැත්නම් ඊළඟ අවුරුදු දෙකෙන් පස්සෙත් ජනතාව අපිට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලයම ලබාදෙන්න කටයුතු කරාවි. අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය අපිට විශාල ශක්තියක් වුණා. ජනතාවට බලපාන්නාවූ ප්‍රශ්න විසඳීම තමයි දැන් අපි කරන්නම ඕන. රජයක් පැමිණි මුල් කාලයේදී ජනතාව ඉවසනවා. දැන් හරි වැඩ පටන් ගන්න. දැන් ජනතාව වැඩ බලාපොරොත්තු වෙනවා, අපිත් ඒ වැඩකරන්න සුදානමින් ඉන්න ඕන. පක්ෂයක් වශයෙන් අපි ශක්තිමත් වෙලා එකමුතුව වැඩකරන්න තමයි අපේ අපේක්ෂාව තියෙන්නේ. පක්ෂයක් වශයෙන් ශක්තිමත් වෙනවා වගේම රජයක් වශයෙන් ශක්තිමත් වෙන්නත් අපිට විශ්වාස භංගය අපිට සෑහෙන්න ශක්තියක් වුණා. අතිගරු ජනාධිපතිතුමා එක්කත් හොඳ බැදීමකින් යුතුව කටයුතු කරන්න තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ.

එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් බොහොම ඉවසීමෙන් යුතුව පසුගිය වසර තුනේදී කටයුතු කරලා තියෙනවා. අපි ආණ්ඩු බලයට පත්කරපු පක්ෂ යාන්ත්‍රනය රැකගන්නවා වගේම අපි රටටත් වැඩක් කරන්න ඕන.ඒ දෙකම ඉටුවෙන්න ඕන. අපි පක්ෂ යාන්ත්‍රනය රැකගැනීම අත්‍යවශ්‍යයි. මේ ලැබුණු අවස්ථාවෙන් අපි ඔවුන්ට වැඩකටයුතු කරලා දීල පක්ෂ යාන්ත්‍රනය රැකගන්න ක්‍රියාකළ යුතුයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුත් මේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල සාකච්ජා කරලා ඉදිරියේදී සිදුකරලා එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රාහී ගමන ආරම්භ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *