රාජ්‍ය සේවයේ ඇතැම් ආයතනවල හොරකම මුල් බැහැලා. – ඇමති වජිර අබේවර්ධන

(කොළඹ, ලංකාපුවත්) – ”රාජ්‍ය සේවයේ ඇතැම් ආයතනවල හොරකම මුල්බැහැලා තිබෙනවා. අලුතෙන් රාජ්‍ය සේවයට එන අය හොරකම නොකර රාජ්‍ය සේවයට කැපවිය යුතුයි. අපි රජයක් ලෙස රාජ්‍ය සේවයේ ඇති හොරකම ඉතා ඉක්මණින් අවසන් කරන්න කටයුතු කරනවා. ” යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (04) උදෑසන බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දී අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්වරුන්ට, පොත් බැඳුම්කරුවන්ට හා උප්පැන්න, විවාහ සහ මරණ අතිරේක රෙජිස්ටාර්වරුන් කිහිප දෙනකුට නව පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී වජිර අබේවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

”රාජ්‍ය සේවකයන්ට චෝදනා එල්ල වෙනවා. අතපසුවීමකින් සිදුවන වැරදි නිසාත්, හිතාමතා කරන වැරදි නිසාත් රාජ්‍ය සේවකයන්ට චෝදනා එල්ල වෙනවා. එවිට ආයතන සංග්‍රහය අනුව පරීක්ෂණ පවත්වනවා. මූළික පරීක්ෂණය මාස තුනකින් අවසන් කළ යුතු වුවත් ඇතැම් අවස්ථාවල දී අවුරුදු 10-15 විභාග වෙන ලිපිගොනු තිබෙනවා. ඒ නිසා මේ ක්‍රමය වෙනස් විය යුතුයි. හරියට එය පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය වගේ වෙන්න ඕනේ. විශ්වාසභංගයක් ඉදිරිපත් වුණාම සියලු වැඩ නවත්තලා විශ්වාසභංගය විවාදයට ගන්නවා වගේ රජයේ සේවකයෙකුගෙන් වැරැද්දක් වුණොත් ඉතා ඉක්මණින් විභාග කරලා අවසන් කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා.”

”රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව අවුරුදු 150ක් පරණයි. නමුත් මේ තරම් පැරණි දෙපාර්තමේන්තුව තවමත් තිබෙන්නේ යල් පැණ ගියපු ක්‍රමයකට. මෙය නවීකරණය කරන්න අවශ්‍ය කටයුතු අපි කරගෙන යනවා. එය ඉක්මන් අවශ්‍යතාවයක්. අද මේ දෙපාර්තමේන්තුවේ සේවයට එක්වන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්වරුන්ට විශාල වගකීමක් වගේම කාර්යභාරයක් තිබෙනවා. අද කාන්තාවන් වැඩි පිරිසක් මේ තනතුරට පත්වීම් ලබනවා. නමුත් කවදාවත් මේ ආයතනයේ රෙජිස්ටාර් ජනරාල්වරියක් පත්ව නැහැ. මේ කාන්තාවන් රෙජිස්ටාර් ජනරාල් තනතුරටත් පත්විය යුතුයි.

මෙම උත්සවය සඳහා වනජීවී අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ද සහභාගී වී සිටියේය.

එහි දී අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්වරු 40 දෙනකුට හා පොත් බැඳුම්කරුවන් 45 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිනි. උප්පැන්න, විවාහ හා මරණ අතිරේක රෙජිස්ටාර්වරු නම දෙනකු සඳහා ද පත්වීම් ප්‍රදානය කිරීම මෙහි දී සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *