මහනුවර කලහකාරී සිදුවීම් නිසා හානි වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයට ප්‍රතිපාදන පිරිනමයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කටයුතු යොදා තිබේ.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ හානියට පත් බවට හඳුනාගත් ආගමික සිද්ධස්ථාන 19ක් සංරක්ෂණය හා සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 19ක මූල්‍ය ප්‍රදාන ලබාදීම අද (06) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිං බිම් 12000 දහසක් යළි අස්වැද්දීමේ මහා ජාතික යහ මෙහෙවර “සසුනෝදය” වැඩසටහනට සමගාමීව මෙම ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු කෙරේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය මෙන්ම තාක්ෂණික සහාය ද මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ලබාදීමට නියමිතය.

ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාව ආරක්ෂාකිරීමත්, සංහිඳියාව සහ ආගමික ආගමික සහජීවනය වැඩිදියුණු කිරීමත් තුළින් මෙරට ජනතාව ඒකාත්මික කිරීම මෙම ජාතික වැඩසටහන්වල අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *