ළමා කෘරත්වයට එරෙහි පැමිණිළි 582ක් පිළිබඳ විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ ගත වූ මුල් මාස 03 තුළ ළමයින් කෘරත්වයට පත් කිරීමට අදාළ සිදුවීම් 582 පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඉන් වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇති අතර, පාසල් ආශ්‍රිතව සිදු වන ළමා කෘරත්වය මෙන්ම තමා ජීවත්වන නිවස ආශ්‍රිතව සිදු වන ළමා කෘරත්වයද මීට ඇතුළත් බව ජාතික ළමාආරක්ෂක අධිකාරිය පැවසීය.

මෙම පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය හරහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වී තිබෙන අතර ලැබුණු සෑම පැමිණිල්ලක් සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කඩිනමින් විමර්ශන කටයුතු ආරම්භ කරන ලදි. ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය දිවයිනේ එම සිදුවීම් වලට අදාළ පොලිස් ස්ථාන හා සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරනු ලැබේ.

ඇතම් පැමිණිලි කම්කරු දෙපාර්තමේන්තුව වෙතද යොමු කරනු ලැබේ. වරදකරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරනු ලබන අතර, මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා පාසල ඇතුලු සමස්ත ප්‍රජාවම කේන්ද්‍ර කර ගනිමින් දැනුවත් කිරිමේ වැඩසටහන්ද පැවැත්වේ.

ළමයෙකු කෘරත්වයට පත්වීමෙන් එම ළමයාගේ පෞරුෂය ඇතුලු සමස්ත අනාගතයම කඩා වැඩීමට ලක්වන අතර ළමයින් මෙවැනි කෘරත්වයට පත්වීම් වලින්ආරක්ෂා කර ගත යුතුවේ. ඒ සඳහා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සහ සමාජය දැනුවත් කිරීම් අත්‍යාවශ්‍ය කාරණයකි.

විශේෂයෙන් පාසල් ආශ්‍රිතව සිදුවන ළමා කෘරත්වය වළක්වා ගැනිම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016.04.29 දින නිකුත් කර ඇති 2016 අංක 12 දරණ පාසල තුළ විනය ආරක්ෂා කිරීම නැමැති චක්‍රලේඛයඅනුව කටයුතු කිරීමට විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන් දැනුවත් කිරීම තුළින් මෙම තත්වයන් වළක්වා ගැනිමට හැකි බව අධිකාරිය පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *