අබලන්වී තිබූ සුගතදාස ධාවන පථය මිලියන 250 කින් අලුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අබලන් වී තිබූ ධාවන පථය වෙනුවට රුපියල් මිලියන 250ක වියදමින් එලන ලද නව කෘතිම ධාවන පථය ඊයේ (09) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් විවෘත විය.

රවි කරුණානායක මන්ත්‍රීවරයා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ තමන් කළ ඉල්ලීමකට අනුව මෙම ධාවන පථය හා ක්‍රීඩාංගණය නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 660 ක් ලබා දීමට හිටපු මුදල් ඇමැතිවරයා කටයුතු කළ බව ක්‍රීඩාංගණය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සව සභාවේදී ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රීලංකාවේ පළමු වතාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මානව ජෛව රසායනාගාරයක් රුපියල් මිලියන 173ක වියදමින් ක්‍රීඩාංගණය ආශ්‍රිතව ඉදිවන බවත්, එහිදී තහනම් උත්තේජක පරීක්ෂණ ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික අබාධ පිළිබඳ සියළුම පරීක්ෂණ කටයුතු මෙරට සිදු කළ හැකි බවත්,ඇමැති දයාසිරි මහතා ප්‍රකාශ කළේය.

සුගතදාස ධාවන පථය නවීකරණය සනිටුහන් කරමින් ඇමැතිවරයා කවපෙත්ත විසිකිරීමේ අවස්ථාවකට එක්වූ අතර කණිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රදර්ශන ධාවන තරඟ දෙකකටද එක්වූහ.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හා රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාද මේ අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *