ඉන්දියාවේ පාසල් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 27ක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිමචල් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකදී පාසල් සිසුන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිසුන් ඇතුලු 27 දෙනකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

අනතුරට පත්වූ සිසුන් බහුතරයක් වයස අවුරුදු 10ට අඩු දරුවන් බව සදහන් ය.

බස් රථයේ රියදුර සහ ගුරුවරු දෙදෙනෙකු ද මිය ගිය පිරිසට ඇතුලත් ය.

අඩි 200ක් පමණ ප්‍රපාතයක මෙම බස් රථය පෙරලී යාමෙන් අනතුර සිදුව තිබේ. සිද්ධියෙන් 13 දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන්ද පසුවන්නේ බරපතල තත්ත්වයක බව වාර්තා වේ. බස් රථය තුළ 40දෙනෙකු පමණ සිට ඇති බවට තොරතුරු වාර්තා වේ.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ බස්රථය එකවර මාර්ගයෙන් ඉවතට ගොස් මෙලෙස ප්‍රපාතයට පෙරලුනු බවය.

අපරික්‍ෂාකාරී රියපැදවීම සහ රථවාහන නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් අනතුරු සිදුවීම ඉන්දියාව තුළ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් වීශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි දරුවන් බේරා ගැනීම සදහා ඉන්දීයා ජාතික ආපදා බලකායේ නිලධාරීන් කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 8 =