මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන වීරෝධාර රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපතිතුමා පවසයි.

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ විසිරයාමේ උත්සවය ඊයේ (09) පෙරවරුවේ සේනාධිනායක ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය. මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ 48 වන මූලික පුහුණු පාඨාමාලව හැදෑරු විශේෂ බළකා නිලධාරින් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 189 ක් අද මෙලෙස විසිර ගියහ.

දර්ශනීය සරඹ සංදර්ශන, තූර්ය වාදන සහ දර්ශනීය පැරෂුට් සංදර්ශනයකින් ද මෙම විසිරයාමේ උත්සවය වර්ණවත් කෙරිණි.
දක්ෂතම සිසුවා සහ දක්ෂතම ශාරිරික අභ්‍යාස සිසුවා ලෙස දෙවැනි ලුතිනන් ඩබ්.එම්.කේ.ආර්. වනිගසූරිය සහ දක්ෂතම වෙඩිතබන්නා ලෙස ලුතිනන් ඊ.එම්.පී.ඩී. ඒකනායක මහතා මෙහිදී ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්හ.

මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ආරක්ෂක හමුදා සිය සේවාවන් ඉටුකිරීමේදී සන්නද්ධ විය යුත්තේ ආයුධවලින් පමණක් නොව දැනුමෙන්, හැකියාවෙන් සහ නිර්මාණශීලිත්වයෙන් ද ඔවුන් දක්ෂතා පෙන්විය යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම සහ වරප‍්‍රසාදයක්ම ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසල් භූමියේ නා පැළයක් ද රෝපණය කෙරුණු අතර, එහි ඔසු උයන නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.ටී.යූ මහලේකම් යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව මාදුරුඔය ධීවර ගම්මානයේ කතෝලික දේවස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරිමේ අවස්ථාව සඳහා ද ජනාධිපතිතුමා එක්විය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ආගමික ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අනුව රුපියල් ලක්ෂ 60 ක පමණ වියදමින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.

ධීවර ගම්මානයේ ජනතාවගේ නිවාස ගැටලු ඇතුළු ගැටලු කිහිපයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර, එම ගැටලු විසඳීම සඳහා වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම එහි දරුවන්ගේ අධ්‍යාපන ගැටලු, සෞඛ්‍ය ගැටලු ඇතුළු සෙසු සුබසාධන සේවාවන් සොයා බලා ඉටුකිරීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ප‍්‍රදේශයේ පූජකතුමන්ලා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *