දිවයින පුරා පෝෂණ වෛද්‍ය ඒකක 160 ක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පෝෂණ වෛද්‍ය ඒකක 160 ක් ඉදිකළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. පළමු අදියර යටතේ පෝෂණ වෛද්‍ය ඒකක 50 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර ඇත.

පෝෂණවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්වූ සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණ විය.

දිවයින පුරා ප්‍රජාව පෝෂණය පිළිබදව දැනුවත් කිරීම සදහා පෝෂණවේදීන් 500 ක් බදවා ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇත. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්තව බදවා ගන්නා ඔවුන් විශ්ව විද්‍යාල පෝෂණවේදී උපාධිධාරීන් වේ. ආහාර, පරික්ෂා කිරීම සදහා පරීක්ෂණාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය ද වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්හ. ඊට ප්‍රතිචාර දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සදහා වූ සැළැස්මක් ලබාදෙන ලෙසයි. පළමු පෝෂණ වෛද්‍ය ඒකකය කොළඹ ජාතික රෝහලේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, පෝෂණවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී රේණුකා ජයතිස්ස මහත්මිය ඇතුලු වෛද්‍යවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *