දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු වහා අරඹන්නැයි අධ්‍යාපන ඇමතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබා දුන් උපදෙස් අනුව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට දීඝවාපී චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

දීඝවාපී චෛත්‍යය ජනතාවගේ වන්දනාවට කඩිනමින් පත් කිරීම සඳහා පවතින ප්‍රධාන බාධාව මෙහි සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් මිලියන 25 ක් සපයා ගැනීම බවත් එබැවින් සංරක්ෂණ කටයුතු සඳහා වසර 5 ක් ගතවන බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා සඳහන් කර ඇත.

මේ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම ගඩොල් ප්‍රමාණය සපයාගැනීමේ ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා ප්‍රමිතිගත ගඩොල් නිපදවන්නන් සමග සාකච්ඡාකර ඊට විසඳුම් ලබාදීමට තමන් මැදිහත් වන බවත් ඒ අනුව ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට හැකිවන බවත් පෙන්වා දුන්නේය.

මීට අමතරව දීඝවාපී පුදබිමෙහි පිහිටි චෛත්‍යය ඇතුළු අනෙකුත් සියලුම පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමටත් ඒ සඳහා බාධාවන් ඇත්නම් ඒ පිළිබඳ තමන් දැනුවත් කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා ලබා දී තිබේ.

බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේදී දිවා ගුහාවෙහි දිවා විහරණය කිරීමෙන් අනතුරුව දීඝවාපියට වැඩමකර දීඝවාපී චෛත්‍ය රාජයාණන් පිහිටා ඇති ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි බව වංශ කතාවල සඳහන් වේ.

සොළොස්මස්ථානයන්ගෙන් එකක් ලෙස සැලකෙන දීඝවාපි චෛත්‍යය සද්ධාතිස්ස කුමාරයා (ක්‍රි.පූ. 137 -119) විසින් ඉදි කරවන ලද බව පැවසෙන අතර අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුවට ආසන්නව දීඝවාපි ග්‍රාමසේවා වසම තුළ සමන්තුරය හා අක්කරපත්තුව අතර පිහිටා තිබේ.

ඒ අනුව දීඝවාපී චෛත්‍යය පෙර තිබූ තත්ත්වයට යළි ගොඩනැගීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 667 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *