මැයි 01වනදා නිවාඩුව අවලංගුයි – ඒ වෙනුවට නිවාඩුව මැයි 07වනදා

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කම්කරු දිනය යෙදී ඇති මැයි 01 දා රජයේ ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දිනයක් ලෙස කලින් නම්කර තිබුණ ද වෙසක් සතියේ දී මැයි පෙළපාලි හා රැළි පැවැත්වීම ආගමික උත්සවවලට බාධා විය හැකි බැවින් මැයි රැළි වෙනත් දිනයක පවත්වන ලෙස මහා නායක හිමිවරුන්ගෙන් ලැබී තිබූ ඉල්ලීම සළකා බැලූ රජය මැයි රැළි හා පෙළපාලි පැවැත්වීම සඳහා මැයි 07 වැනි දිනය යොදා ගෙන ඇත.

ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට පැවරෙන බලතල අනුව එම නිවාඩු දින වෙනස් කරමින් අංක 2066/17 දරණ ගැසට් නිවේදනය 2018 අප්රේවල් මස 10 අඟහරුවාදා අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කර ඇත.

එම නිවේදනයේ මෙසේ දැක්වේ

ගැසට් නිවේදනය උපුටා දැක්වීම

1979 අංක 29 දරන නිවාඩු පනතේ 10(1)(ආ) වගන්තිය හා 11(1)(ආ) වගන්තිය යටතේ නියමය
1979 අංක 29 දරන නිවාඩු පනතේ 10(1)(ආ) වගන්තියෙන් හා 11(1)(ආ) වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ස්වදේශ කටයුතු අමාත්‍ය ( වජිර අබේවර්ධන වන මම, ජාතික වෙසක් සතිය 2018 අප්‍රේල් මස 26 දින සිට 2018 මැයි 02 වන දින දක්වා යෙදීම හේතුවෙන්, ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018 මැයි 01 වන අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගුකර ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි මස 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් විය යුතු බව ද මෙම නියමය මගින් ප්‍රකාශ කරමි.

වජිර අබේවර්ධන
ස්වදේශ කටයුතු අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *