ශ්‍රීලනිප 16දෙනා තනතුරුවලින් ඉවත්වෙති

(කොළඹ, ලංකාපුවත්) – අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංගයට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉවත්වීමට තීරණය කරති.

සිය තනතුරුවලින් ඉවත්වීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මීට පෙර ලිපියක් මඟින් ඉල්ලීමක් කළ බව ද ඒ අනුව අදාළ තනතුරුවලින් ඉවත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය සමඟ සම්මුතිවාදී ආණ්ඩුවේ දිඟටම සිටිනවා ද, ආණ්ඩුවෙන් ඉවත් වෙනවා ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවෙසේ දී ඊයේ (11) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවේ දී මේ තීරණයට පැමිණි බව ඇමතිවරයා සඳහන් කළේය.

මේ සාකච්ඡාව සඳහා විශ්වාසභයංගයට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 14දෙනකු පැමිණ සිටි බව සඳහන් කළ ඒ මහතා අනෙක් දෙදෙනා මේ සාකච්ඡාවේ දී ලබාගන්නා තීන්දුවට සහාය ලබාදෙන බව ද පැවසීය.

ඒ අනුව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිඳහස් පක්ෂයේ ඇමැතිවරුන් 16 දෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාර දී තිබෙන අතර ජනාධිපතිවරයාට සහාය ෙදමින් ඉදිරියේ දී පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අසුන් ගනිමින් ශ්‍රී ලංකා නිඳහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ලෙස පෙනී සිටින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිඳහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවීමට තීරණය කළ බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේය.

එහි දී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ ඇමැතිධූර දැරූ එස්.බී දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරානාත් බස්නායක, සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ, ඩිලාන් පෙරේරා, සුමේධා ජී ජයසේන, ටී.බී ඒකනායක, සුසන්ත පුංචිනිලමේ, අනුරාධ ජයරත්න, තිලංග සුමතිපාල මහත්ම මහත්මීන් මෙලෙස සිය ධූරවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 17 =