අවුරුදු සමයේ බීමත්ව රිය පදවා 140ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අලුත් අවුරුදු උත්සව සමය කලයේ, ගෙවුණු පැය 24 තුළ බීමත්ව රිය පැදවූ රියදුරන් 140ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

අපරික්ෂාකරී ලෙස හා අන්තරාකාරී ලෙස රිය පැද වූ පුද්ගලයින් 22ක් සහ අධික වේගයෙන් රිය පැදවූ පුද්ගලයින් 166ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කර ඇත.

මේ අතර උත්සව සමයේදී ඇතැම් බස් රථ රිය සහයකයින් නියමිත ගාස්තුවට වඩා වැඩි මුදල් මගී ජනතාවගෙන් අය කර ගෙන ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළේය.

එහි සභාපති එච්.හේමචන්ද්‍ර මහතා කියා සිටියේ එවැනි බස් රථ සම්බන්ධයෙන් වහා පැමිණිලි කිරීමට මගීන් කටයුතු කළ යුතු බවය.

“බස් ගාස්තුවට වැඩි මුදලක් ගෙවනවා නම් 1955ට වාර්තා කරන්න. ඔබ ටිකට් පතක් ඉල්ලා ගන්න දුන් මුදලට සරිලන ගෙවූ ගණනට. බස් රථයේ අංකය දමා ගන්න… නැත්නම් ගමන ආරම්භය සහ අවසානය සටහන්ව තිබිය යුතුයි. වැඩිපුර මුදල් අය කර තිබේ නම් බස් ටිකට් පතත් සමග අපට පැමිණිලි කරන්න. අපි ඒ සම්බන්ධව වහාම කටයුතු කරන්න සූදානම්.“ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම උත්සව සමයේ දිවයින පුරා සිදු කරන ලද වැටලීම් 512 කදී මිනිස් පරිභෝජනයට නුදුසුසු ආහාර අලවි කළ ව්‍යාපාරිකයින් 1543 කුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන විසින් දිවයින පුරා ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමක් සිදු කර ඇත. එහිදී ව්‍යාපාරික ස්ථාන 25,600 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.

සංචාරක හෝටල්, සුපිරි අලෙවි සැල්,සිල්ලර අලෙවි සැල්,සංචාරක ව්‍යාපාරිකයින්,අවන්හල්,ඇතුළු ව්‍යාපාරික ස්ථාන ඒ අනුව පරීක්ෂාවට ලක් කර ඇත.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ, අලෙවි කිරීම සඳහා ප්‍රර්ශනය කර සහ ගබඩා කර තබා ගෙන සිටි ව්‍යාපාරික ස්ථාන 25 කට මුද්‍රා තැබීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ බව උපුල් රෝහණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *