නව වසරේ දී රට වෙනුවෙන් නව වැඩසටහනක් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සාමයත්, සංහිදියාවත් ශක්තිමත් කරමින් නව වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) මහනුවර දී පැවසීය.

අගමැතිවරයා අද මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර ශ්‍රී දළදා මාළිගයට ගොස් ආගමික වතාවත්වල ද නිරත විය.

අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“සිංහල දෙමළ අලූත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර අවසන් කරමින් මහනුවරට පැමිණ අපි අද ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා. ඒ වගේම මල්වතු සහ අස්ගිරි පාර්ශ්වවල මහනායක ස්වාමීන් වහන්සේලා බැහැ දකිමින් උන්වහන්සේලාගේ ආශිර්වාදයත් ලබා ගත්තා. එහිදී, අපේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳවත් මහනායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කළා.

පළමුවෙන් අප බලාපොරොත්තු වන්නේ මේ රටේ සාමයත්, සමගියත්, සංහිදියාවත් ශක්තිමත් කිරීමයි. අප ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා. පසුගිය වසරේ මෙන් අවාසනාවන්ත ලෙස ස්වභාවික විපත්වලට මුහුණ නොදී අපේ රටට ඉදිරියට යාමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ රජය ආරම්භ කළ ව්‍යාපෘති ගණනාවක ප්‍රතිඵල ලබා ගැනීමට දැන් කාලය එළැඹ තිබෙනවා. ඇතැම් ව්‍යාපෘති අවසන් කිරීමටත්, නව ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමටත් මේ වන විට කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය සංචාරය නිමවා නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු රට වෙනුවෙන් නව වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය වසරේ මීතොටමුල්ල කුණු කන්ද නායයාම, ගංවතුර, නියඟය ආදී ස්වභාවික විපත් රාශියකට මුහුණ දීමට සිදු වුණා. කෙසේ වුවත් මෙවර සිංහල අලූත් අවුරුදු සමය වන විට බඩු භාණ්ඩ සාධාරණ මිලක් යටතේ ජනතාව වෙත ලබා දීමට අපට හැකි වුණා. එම සහන ඉදිරියටත් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.
එළැඹුණු නව අවුරුද්ද රටටත්, ජනතාවටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *