ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – කතානායක කරු ජයසූරිය මහතාගේ ආරාධනාවකට අනුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා (Ali Larijani) ඊයේ (18) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

රාජ්‍ය අමාත්‍ය ඒ එච්. එම්. ෆවුසි සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සයිරී අමිරිනී, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ඉරාන නියෝජිතයින්ව පිළිගනු ලැබීය.

ඉරාන කතානායකවරයා සමග එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 05දෙනෙකු සහ රජයේ නිලධාරීන් 31දෙනෙකුගෙන සමන්විත නියෝජිත පිරිසක් මෙම සංචාරයට එක් වේ.

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා සිකුරාදා(20) දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී කතානායක කරු ජයසූරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවන් පැවැත්වීමට ද නියමිත අතර අද(19) දින පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවීමට ද නියමිතය.

දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම ඉරාන කථානායකවරයාගේ මෙරට සංචාරයේ අරමුණ වී ඇත.

එමෙන්ම සිරියාවේ දැනට පවතින යුධමය වාතාවරණය සම්බන්ධයෙන් ද මෙරට ඉහළ පෙලේ නිලධාරීන් සමඟ අලි ලරිජානි මහතා සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වූ ඒකාබද්ධ ගිවිසුමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ඉරාන සිරකරුවන් 15දෙනෙකු ශ්‍රී ලංකා බන්ධනාගාර තුළ දැනට සිටින අතර ශ්‍රී ලාංකික ජාතිකයින් තිදෙනෙකු ඉරානයේ සිරගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *