බ්‍රිතාන්‍ය අගමැතිනියගෙන් ශ්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) –තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රධානතම අරමුණක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගී වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බි‍්‍රතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවාය.

ලොව රටවල් රැසක ප‍්‍රබල රාජ්‍ය නායකයින් රැසක් මෙම විධායක සභාව නියෝජනය කරන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයීය නීල ප‍්‍රඥප්තිය සම්මත කර ගැනීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දූපත් රාජ්‍යයක් ලෙස, මතු පරපුරෙහි ප‍්‍රයෝජනය උදෙසා, භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සාක්ෂාත් කර ගැනීමට ශ‍්‍රී ලංකාව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවයි

භූගෝලීය වශයෙන් ශ‍්‍රී ලංකාව උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටා තිබෙන අතර, ලෝකයේ ආර්ථික බලවේගයක් බවට ආසියා කලාපය පත්වෙමින් තිබෙන අවධියක ශ‍්‍රී ලංකාව විසින් ස්වකීය විශේෂ ස්ථානීය වාසිය සහ කේන්ද්‍රීය පිහිටීම උපයෝගී කරගෙන ප‍්‍රාග්ධන උත්පාදන උදෙසා විශේෂ අවධානයක් යොමුකරමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

දරිද්‍රතාවෙන් මිදීම, රැකියා උත්පාදනය, සමානාත්මතාව ප‍්‍රවර්ධනය සහ තිරසර සංවර්ධනය යනාදී ඉලක්කයන්ට ළගාවීම සඳහා අපගේ ජනතාවට, අපගේ සාගර කලාපයේ අවශ්‍ය ප‍්‍රතිලාභ ලබාදිය හැකි අතර එය ස්ථාවර සහ තිරසර අනාගතයක් ළගා කර ගැනීමට ඇති මාර්ගය බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එක්සත් රාජධානිය විසින් යෝජිත ,පිරිසිදු සාගර සඳහා වූ ගිවිසුම, වෙනුවෙන් පූර්ණ සහයෝගීතාවය දැක්වීමට ශ‍්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින අතර, එවන් පසුබිමක ,පොදු රාජ්‍ය මණ්ඩලීය නීල ප‍්‍රඥප්තිය, සතුටින් පිළිගනු ලබන්නේ සාගරය පොදු වගකීමක් සහ පොදු මානව උරුමයක් ලෙස ඒකාබද්ධ ප‍්‍රයත්නයන් මගින් සුරක්ෂිත කර ගැනීමට බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තිරසර අනාගතයක් සඳහා වූ ශ‍්‍රී ලංකාවේ අරමුණ වන්නේ කිසිවෙකු අත් නොහැරෙන විශ්වාසනීය බවකින් සහ ප‍්‍රබෝධයෙන් යුතුව සියලු දෙනාටම එකට නැගී සිටීය හැකි සහ ප‍්‍රගතිය ළගා කරගත හැකි ඉලක්කයන් සපුරා ගැනීම බවයි.

ඒ පිළිබඳ අන්‍යොන්‍ය වශයෙන් වාසිසහගත වූ පරමාදර්ශයන් අවබෝධ කර ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලය වැදගත් වේදිකාවක් සපයනු ඇති බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *