රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නව තැපැල් මුද්දරයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී බුද්ධ වර්ෂ 2562 රාජ්‍ය වෙසක් උත්සවය සැමරිම නිමිත්තෙන් රුපියල් 15.00 ක වටිනාකමින් යුත් නව තැපැල් මුද්දරයක් 2018 අප්‍රේල් මස 29 වැනි දින තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කරනු ලැබේ.

2562 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන “බිංගිරි රාජ මහා විහාරය”, වයඔ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ අක්කර දහසක පමණ භූමි ප්‍රමාණයක පැතිරී ඇත.

විහාරයේ චෛත්‍යරාජණයාන් වහන්සේ දෙවන පෑතිස් රජතුමාගේ රාජ සමයේදී ඉදි කරන ලද්දක්යැයි අතීත පුරාවෘත වල සඳහන් වේ. මෙම විහාරස්ථානය පරාක්‍රමබාහු රජතුමාගේ අවධියේ දී ද ප්‍රතිසංස්කරණයට ලක් වී ඇත. පළමු වන අග්බෝ මහ රජතුමා විසින් බිංගිරිය රාජ මහා විහාරයේ ඉදි කිරීම් සඳහා වරින් වර අනුග්‍රහය ලබා දී ඇති බවට ද සාක්ෂි තිබේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මෙම විහාරය වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මහ නා හිමියන්ගේ බෞද්ධ පුනර්ජීවන කටයුතු වල කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබී ඇත. එම යුගයේදී මෙහි ඓතිහාසික ස්මාරකයක් වන ටැම්පිට විහාර මාලිගාව ඉදිකර ඇත්තේ ද කිර්තී ශ්‍රී රාජසිංහ රජ දවසය.

එම වර්ගයේ විහාර මාලිගාවලින් දැනට ලංකාවේ ඇති විශාලතම පිළිමගෙය වශයෙන් හඳුනාගෙන ඇති මෙය, භින්ෂුන්ගේ විනය කර්ම සඳහා ද උපෝසථාගාරය ලෙස භාවිතා කරනු ලැබේ.

විහාර මළුව වට කොට ඇති මහා ප්‍රාකාර බැම්ම සහ එහි ඇති සතර වාහල්කඩවත් සංරක්ෂණය කර ඇති පොහොය ගෙයත් මෙම විහාරයේ පැරණි ශ්‍රී විභූතිය විදහා දක්වයි.

ගොඩනැගිලි සහ නටඹුන් වලට අමතරව විහාරයේ ඓතිහාසිකත්වය පිළිඹිබු කරන පුරා විද්‍යාත්මක සාධක ලෙස කැඩී බිදී ගිය කළුගල් හිටි බුද්ධ ප්‍රතිමාවක සහ ඔත් ප්‍රතිමාවක කවන්ධ දෙකක් ද තවත් කුඩා පිළිමවල කවන්ධයන් හා කුඩා ප්‍රතිමා හිසක් ද උළු කැබලි සහ ගඩොල් ආදිය ද විශාල ප්‍රමාණයේ මටසිලිටු සහ රළු පෙනුම් ඇති පට්ටම් සහ හතරැස් ගල් කණු ආදිය ද රළු පෙනුමට කොරවක් ගල් දක්නට ලැබේ.

මුද්දර සැළසුම් ශිල්පී – පාලිත ගුණසිංහ මහතා විසින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *